හිතෛෂී සමාගමට නොදුන්නාට වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරයම අත්හිටුවන්න හදනවා

0
17

තමන්ට හිතෛෂී සමාගමකට අවස්ථාව නොලැබීම නිසා ප්‍රතිශක්තික ජීව රසායනවේද ස්වයංක්‍රිය යන්ත්‍ර (immuno chemistry auto analyse machin) මිලදී ගැනීමේ ටෙන්ඩරය යම්කිසි පාර්ශ්වයක් අත්හිටුවීමට උත්සාහ දරන බවට පවසමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කොට ඇත.

වෛද්‍ය රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රියක සහ උපකරණ මිලදී ගැනීමට අදාළව ඉතා දරුණු ලෙස ව්‍යාප්තව ඇතැයි කියන තාක්‍ෂණික මාෆියාව පිළිබඳව නිසි අවධානය යොමු කරන ලෙසද එම ලිපිය මඟින් ඉල්ලීමක් කොට ඇත.

රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිශක්තික ජීව රසායනවේද ස්වයංක්‍රිය යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා අදාළ විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ ප්‍රසම්පාදන හා තාක්‍ෂණික ඇගයීම්වලින් පසු 2020 වසරේ ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව යන්ත්‍ර මිලදී ගැනීමට අදාළ කටයුතු වසර දෙකකට පමණ පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් කොට ඇති බවද එම ලිපියේ දැක්වේ.

ඒ අදාළ සියලු කටයුතු අවසන් කිරීමෙන් පසු සැපයුම්කරුවකු පවා තෝරා ගෙන සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශය එම ටෙන්ඩරයට අදාළ මිලදී ගැනීම අත්හිටුවීමට උත්සාහ ගනිමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් චෝදනා කළේය.

ඔවුන්ගේ එම උත්සාහයට අදාළව පිළිගත නොහැකි ‘තාක්‍ෂණික බොරු’ කිහිපයක් ඉදිරිපත් කරන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇතැයිද ඔහු කීය.

රසායනාගාර ප්‍රතික්‍රියක හා උපකරණ මිලදී ගැනීමේදී විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන බවට හෙතෙම චෝදනා කළේය. එසේම සමහර නිලධාරීන් තමන්ට හිතෛෂී සමාගම්වලට අවස්ථාව ලබාදීමට තාක්‍ෂණිකව පවරාගත් බලතල අනිසි ලෙස භාවිත කරන බව ඔහු කීය.

යම් හෙයකින් එසේ කිරීමට නොහැකි වූ විට විවිධ හේතු දක්වමින් එම ටෙන්ඩර් පටිපාටි අවුල් කරමින් ඒවා අහෝසි කරන තැනටම ව්‍යාකූල කරවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයෙහි පිළිවෙත වී ඇතැයි චෝදනා කළේය.

සවනි ශේශාධි