හමුදා කඳවුර ඉවත් කර අයිතිකරුට භාර දුන් ඉඩම පිරිසක් බලෙන් අල්ලගෙන

0
8

වසර තිහකට වැඩි කාලයක් කුඹුරුමුල්ල හමුදා කඳවුර පැවැති ඉඩම එහි හිමිකාරිය වෙත භාරදීමෙන් පසු වෙනත් කණ්ඩායමක් විසින් එහි කොටසක් බලෙන් අල්ලා ගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් මේ දක්වා ඔවුන් කටයුතු කර නැති බවත් ඉඩම් හිමිකාරිය පවසයි. මේ වන විටත් හමුදා මුරපොළක් පවත්වා ගෙන යෑමට ඉඩමේ කොටසක් නොමිලේ ලබාදී ඇති බවද ඇය කියයි.

උතුරු නැඟෙනහිර වසර තිහකට වැඩි කාලයක් පුරා විහිදී තිබූ ත්‍රස්තවාදී උවදුරේදී මඩකළපුව කිරාන් හමුදා සංකීර්ණය ඉදි කිරීම සඳහා රජය වෙත ලබාදුන් තම පෞද්ගලික ඉඩම හමුදාවෙන් නැවත භාරදීමෙන් පසු ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඉන් කොටසක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති බවත් ඉඩම තමා වෙත භාරදෙන අවස්ථාවේදී මෙම ඉඩමට වෙනත් අය ඇතුළු වී ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වගකිය යුතු අය ලබාදුන් පොරොන්දු මේ වන විට කඩ කිරීම නිසා තමන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් පවසමින් ඉඩමේ හිමිකාරිනිය ඒ සඳහා  සාධාරණ ඉටු කර දෙනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව අදහස් පළ කළ ඉඩමේ අයිතිකරු  වන පී. අන්නපුරම් මහත්මිය සිද්ධිය පිළිබඳව මෙලෙස කීවාය. මම පදිංචිව සිටින්නේ බදුල්ල ප්‍රදේශයේ. එල්ටීටීඊ ත්‍රස්තවාදය ආරම්භ වී නැඟෙනහිර පළාතේ එය උග්‍රව පැවැති කාලයේදී මා හට අයත් අක්කර 35ක් වන ඉඩම 1991 ජනවාරි 01 දින සිට කුඹුරුමුල්ල හමුදා කඳවුර ඉදිකිරීම සඳහා කුලී පදනම මත හමුදාවට ලබා දුන්නා.

ඉන් අනතුරුව යුද්ධය අවසන් වීමෙන් පසුව මා විසින් යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව 2018 ජූලි 18 දින සම්පූර්ණ ඉඩමෙන් අක්කර 30ක ප්‍රමාණයක් එවකට එම කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ඩී.ඩී.පී.ඒ. ජයවර්ධන, යූ.එස්.පී. යන නිලධාරි විසින් කෝරලයපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මා වෙත භාරදී ඉතිරි අක්කර 5ක කොටසේ තවදුරටත් හමුදා කඳවුර පවත්වා ගෙන ගියා.

ඉන් වසර 3කට පසු 2021 අගෝස්තු 03 දින මේජර් ජෙනරාල් ඩී.ඩී. වීරසූරිය මහතා කිරාන් හමුදා කඳවුර සංකීර්ණයේදී මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරයා, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි, වාලච්ඡේන පොලිස් ස්ථානාධිපති, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි ඇතුළු පිරිසක් ඉදිරියේදී මාගේ ඉඩමේ ඉතිරි අක්කර 5ක කොටසද මා වෙත භාරදුන්නා. එම අවස්ථාවේදී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වෙත මා විසින් දන්වා සිටියේ සම්පූර්ණ ඉඩම වටා ස්ථීර කොන්ක්‍රීට් වැටක් සාදා ගන්නා තෙක් වෙනත් කිසිවකු විසින් ඉඩම අල්ලා ගැනීමට උත්සාහ කළහොත් ගතයුතු පියවර පිළිබඳව අවධානය යොමු කර දෙන ලෙසයි.

එහෙත් මේ වන විට යම් පිරිසක් මෙම ඉඩමෙන් අක්කර 15ක පමණ කොටසක් බලහත්කාරයෙන් අල්ලා ගෙන වැටක්ද ඉදිකර ඇති බව මා හට දැන ගැනීමට ලැබීමෙන් පසු අපි මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් එලෙස ඉඩම අල්ලා ගෙන සිටින අය ගෙන්වා මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මේ දක්වා කටයුතු කර නෑ.

2021 අගෝස්තු 03 වැනිදා ඉඩම මා වෙත භාරදුන් අවස්ථාවේදී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විසින් දුන් උපදෙස් පරිදි කටයුතු කිරීමක්ද මේ පොලිසියෙන් කර නොමැති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරනවා.

ඒ වගේම මේ වන විටත් හමුදා මුරපොළක් පවත්වාගෙන යෑමට මා මෙම ඉඩමෙන් කොටසක් නොමිලේ ලබාදී තිබෙනවා. වසර 30කට වැඩි කාලයක් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා හමුදාව වෙත ලබාදී තිබූ මෙම මාගේ සින්නක්කර ඉඩමේ බලහත්කාරයෙන් ඇතුළු වී සිටින අය ඉවත් කර මා හට සාධාරණයක් ඉටු කර දෙනමෙන් වගකිවයුතු සියලුම දෙනාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා” යැයි ඇය පැවසුවාය. 

බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන