සොබාදහමේ සංකේතය වූ මාතාංගි දේවිය

0
37

හින්දු ආගමේ ත්‍රිමුර්තීන් වගේම මහා දේවියන්ද

සුවිශේෂී වෙයි. මාතාංගි යනු එම දස මහා දේවියන්ගෙන් එක් අයෙක්. ත්‍රිමූර්තියක් වන ශිව දෙවියන්ගේ දේවිය වන පාර්වතී මෑණියන්ගේ දස අවතාරවලින් එක් අයකු වන මාතංගි ස්වභාවධර්මයට ලැදි දේවතාවියක් බව විශ්වාස කෙරේ.  පාර්වතී මෑණියන් විසින් විවිධ අවස්ථාවන්වලදී ධාරණය කරගත් විවිධ රූප දහය මහා දේවියන් ලෙස හින්දු ආගමේදී සැලකෙයි. එම දස මහා දේවීන් නම්,

1. කාලි

2. තාරා

3. ත්‍රීපුර සුන්දරී

4. බුවනේෂ්වරී

5. චින්නමස්ථා

6. බෛරවී

7. ධූමාවතී

8. භාගලමුක්ති

9. මාතාංගි

10. කමලා නම් වේ.

හින්දු දහමට අනුව පිරිසුදුකම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. බ්‍රහ්මණයන් පැනවූ නීති ප්‍රකාරව සැමවිටම පිරිසුදුකම රැකගත යුතුයි මෙන්ම කුල ක්‍රමයද දැඩිව පැවතිණි. ශක්ති භගවත් පුරාණයට අනුව මාතාංගි දේවියගේ රූපය පාර්වතී මෑණියන් විසින් දරා ගන්නේ කුලමල අනුව කිසිවකුත් පහත් අයවලුන් නොවන බව පෙන්වීමටය.

දිනක් පාර්වතී මෑණියන් විසින් ශිව, විෂ්ණු, ඉන්ද්‍ර ඇතුළු සමස්ත දේව මණ්ඩලයටම සංග්‍රහයක් සිදු කරන සමයක කෛලාශ පර්වතය වෙත අඩු කුලයක චණ්ඩාල ස්ත්‍රීන් පිරිසක් පාර්වතී මෑණියන් බැහැදැකීමට පැමිණෙන්නේ ඔවුන් සිඟමන් ලැබූ ආහාර ස්වල්පයක් ප්‍රසාද් ලෙස රැගෙනය.

ඔවුන්ට ආහාරවලින් හිඟයක් පැවැති අතර ‘අන්නපුරණි’ නම් ආහාරයට අධිපතිනිය ලෙසින් කිසිත් අහරක් අඩු නැතිව දේව මණ්ඩලයට ලබා දෙද්දී ඔවුන් විසින් තමන්ට හිඟයක් නොමැතිව ලැබෙන අහර බිම දමමින්, නාස්ති කරමින් කිසිම අරපිරිමැස්මකින් තොරව භාවිත කරන ආකාර දුටු පාර්වතී මෑණියන්ගේ සිත පීඩාවට පත්වෙයි. ඕනෑම දෙයක් කිසිදු අඩුවකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙන විට එහි අගයක් නොමැති බවත්, එයට ගරු නොකරන බවත් තේරුම් ගත් පාර්වතී මෑණියන් දැඩි ලෙස කම්පිත වෙයි.

එසේම තමන්ව බැහැදැකීමට පැමිණි කුලයෙන් අඩු චණ්ඩාල ස්ත්‍රීන් හට සියලු දෙවි දේවතාවන් නිගරු කරනු දුටු පාර්වතී මෑණියන් කුලයෙන් අඩුවීම හෝ ඉඳුල් වූ ආහාර අනුභවය යම් අයකු අපිරිසුදු වීමට හේතුවක් නොවන බව පෙන්වා දීමට උත්සාහ කළත්, තම බැතිමතුන් විසින් ප්‍රදානය කළ ඉඳුල් වූ ආහාර දේව මණ්ඩලයේ නිගරුවට ලක්වීම නිසා කෛලාශය හැර ඔවුන් සමඟ වාසයට ඇය තීරණය කරයි. එහිදී පාර්වතී මෑණියන් මාතාංගි දේවියගේ ස්වරූපය ධාරණය කර ඔවුන්ගේ කුලදේවතාවිය ලෙසින් ඔවුන් සමීපයෙහි වැඩ වාසය කරයි.

තවත් එක් පුරාවෘත්තයකට අනුව බ්‍රහ්ම දෙවියන්ගේ පුත් වූ දක්ෂ රජතුමාගේ දියණියක් වූ සතී දේවිය තමන්ගේ පියා විසින් සිදු කළ මහා යාගයට තමන්ට හා ශිව දෙවියන්ට ආරාධනා නොකොට සිදු කළ අපහාසයට උරණ වී සති පූජාව නමැති ගින්නට බිලිවී සිය දිවි තොර ගැනීමේදී ඉතිරි වූ භෂ්මාවශේෂ දහය දිශාවන් දහයක තැන්පත් කර එම එක් කොටසකින් එක් මහා දේවියක් නිර්මාණය වූ බවත් වයඹ දිශාවේ වූ භෂ්මාවශේෂයෙන් මාතාංගි දේවිය නිර්මාණය වූ බවත් පවසයි.

තවත් එක් පුරාවෘත්තයකට අනුව දිනක් පාර්වතී මෑණියන්ට තම පියා වූ හිමාලයා රජුගේ මාලිගයට ගොස් සිටීමට සිතීම නිසා ශිව දෙවියන්ගෙන් ඒ සඳහා අවසර ඉල්ලා සිටි අතර දින කිහිපයකින් පැමිණෙන ලෙසට පවසමින් ශිව දෙවියන් විසින් ඇයට අවසර ලබා දුන්නේය. එමෙන්ම දින ගණනාවක් ගතවීත් පාර්වතී දේවිය නොපැමිණි නිසා දුකට පත් ශිව දෙවියන් ආභරණ වෙළෙන්දකු ලෙසින් වෙස් වළාගෙන පාර්වතී හමුවට ගියේය.

සිප්පි කටුවලින් සෑදූ ආභරණයක් ඇයට ලබා දුන් ශිව විසින් පාර්වතීගේ නිකළැල් බව පරීක්ෂා කිරීමේ අරමුණින් එම ආභරණය වෙනුවෙන් ඇගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ අතර කෝපයට පත් දේවිය ඔහුට ශාප කිරීමට සැරසුණු මුත් ඇගේ ධ්‍යාන බලයෙන් ඒ සිටින්නේ ශිව දෙවියන් බව හැඳින ගත්තාය. එහෙයින්ම සවස් යාමයේදී ඔහුගේ ඉල්ලීම ඉටු කරන බවට පැවැසූ පාර්වතී සවස් යාමයේදී රක්ත වර්ණයෙන් වූ ඇඳුමකින් සැරසුණු පාර්වතී පියයුරු විශාල වූ චණ්ඩාල ස්ත්‍රියකගේ වේශය රැගෙන ශිව දෙවියන් වසඟයට ගැනීම පිණිස නර්තනයක්ද ඉදිරිපත් කරමින් ඔහු සමීපයට ගියේය.

එම ස්වරෑපයෙන් සිටින්නේ තම බිරිය බව දැනගත් ශිව දෙවියන් චණ්ඩාල රූපයක් මවාගෙන ඇය හා එකතු විය. ඉනික්බිතිව ශිව දෙවියන්ගේ වරයක් ඉල්ලූ පාර්වතී මෑණියන් තමන්ට චණ්ඩාල ස්වරූපයෙන් චාණ්ඩාලිනී ලෙස ඔහුට පෙරාතුව තමන්ට වැඳුම් පිදුම් ලැබීමට වරයක් ලබාදෙන බවය. උච්ඡිෂ්ඨ චාණ්ඩාලිනී ලෙසින් චණ්ඩාල කුලයේ පුද්ගලයන්ට සේවය කිරීමට සහ ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට වරයක් ශිව දෙවියන් විසින් මෙහිදී පාර්වතී මෑණියන්ට ලබා දුන් බවට බෙංගාල මංගල කාව්‍යවල සඳහන් වේ.

මාතාංගි මෑණියන් කොළ පැහැති සමකින් යුතු අතර ඇය එක් අතකින් වීණාවක්ද අනෙක් අතින් ගිරවකුද අල්වාගෙන සිටියි. අතිශයින්ම ශාන්ත ස්වරූපයක් ධාරණය කරගන්නා මාතාංගි මෑණියන් ස්වභාවධර්මයේම අංගයක් ලෙසින් විශ්වාස කරයි. බ්‍රාහ්මණ නීතියට අනුව දෙවියන්ට පූජා කරන්නට යෙදෙන්නේ ඉඳුල් නොකළ, කිලි නොවූ අතිශයින්ම උසස් පූජා භාණ්ඩ වුව මාතාංගි මෑණියන් උදෙසා සිදු කරන පූජාවන් අනුව ඉඳුල් කළ ආහාර මෙන්ම අත් නොසෝදා ආහාර ගැනීම මෙන් බ්‍රාහ්මණ නීතියට පටහැනි ක්‍රම වේ. හින්දු දහමේ සියලු දෙවියන්ට තමන්ටම වෙන් වූ තනි කෝවිල් ඇති නමුදු මාතාංගි මෑණියන්ට එසේ නැත. ඇය කාමක්‍යා දේවියගේ සිද්ධස්ථානයේ ඇයත් සමඟින් වැඳුම් පිදුම්වලට ලක්වන අතර මදුරෙයි මීනාක්ෂි දේවියද මාතාංගි මෑණිය වන්නට ඇති බව ඇයගේ අතෙහි සිටින ගිරවා නිසා විශ්වාසයක් පවතී. මෙසේ අනෙකුත් මහා දේවියන් සමඟ විවිධ ස්ථානවල මාතාංගි මෑණියන්ට වැඳුම් පිදුම් සිදු කරනු ලබයි.

පාර්වතී මෑණියන්ගේ මෙම මාතාංගි දේවියගේ ස්වරූපය ඇය විසින් ධාරණය කරගැනීමට ප්‍රධාන හේතුව නම් කුල සම්ප්‍රදායට අනුව චණ්ඩාලයන් කොන් කිරීමත්, බ්‍රාහ්මණයන්ගේ නොමනා හැසිරීමත් මෙන්ම තමන්ට පමණට වඩා ලැබෙන ආහාර, වර්ෂාව ඇතුළු සියලුම දෑ අගය නොකොට නිගරු කරන්නන් හට එහි වැදගත්කම තේරුම් කොටදී අපිරිමැස්ම තේරුම් කර දීමටය. තමන්ට අනවශ්‍ය අයුරින් කිසිදු දෙයක් භාවිත නොකොට සියලුම දේ අරපිරිමැස්මෙන් භාවිත කිරීමට හුරු වන්නට පුරාණ දේව කතාද අපට මහත් සේ ඉවහල් වෙයි. එයට මාතාංගි දේවියගේ දේව පුරාණය හොඳම නිදසුන වේ.

හංසි රණසිංහ