සුබ පල දෙන නිවෙසක් හදන හරිම පිළිවෙළ

0
39

වර්තමාන කාලයේ හැටියට නම් සාමාන්‍ය නිවෙසක් හදා ගැනීමට වුවත් ලක්‍ෂ පනහක් හැටකට වැඩි මුදලක්වත් වැය කරන්නට සිදුවේ. ඊට හේතු වන්නේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හා බාස් කුලිය වුවද විශාල වශයෙන් වැඩි වීමයි. ඒ කොහොම වුවත් එක් පවුලක දරුවන් හතරපස් දෙනෙක් සිටියොත් ඔවුන්ට නිවෙසක අවශ්‍යතාව තදින් දැනේ.

මේ නිසා නිවාස හෝ ගොඩනැඟිලි ඉදිකිරීමේදී වාස්තු විද්‍යානුකූලව එම කටයුතු කර ගැනීමෙන් එම කටයුතු බාධාවකින් තොරව කර ගැනීමට හැකියාව ලැබෙන බව අපගේ දිගුකාලීන අත්දැකීමයි.

එවැනි කටයුතු කර ගැනීමේදී මුලින්ම කළ යුත්තේ තම ජන්ම පත්‍රය ජේ‍යාතිෂවේදියකු ලවා පරීක්‍ෂා කරගෙන එතුමාගේ උපදෙස් අනුව කටයුතු කිරීමයි. තම ජන්මපත්‍රයට අනුව හතර වැන්නාධිපතියාගේ මහ දශාවන් අන්තර් දශාවන් විදශාවන් හෝ හතර වැන්නාධිපති දිග්බල ගමන් කරන කාලසීමාවක් තුළ එම කටයුතු කර ගැනීම උසස් ඵල ලබා දෙන බව ඍෂිවරුන්ගේ මතයයි.

හතර වැන්නාධිපති “නීචව, සතුරුව පාපීන්ට පෙනේ නම් නිවාස හෝ ගොඩනැඟිලි ඉදිකිරීමේදී විවිධ ප්‍රශ්න, කරදරවලට මුහුණදීමට සිදුවේ. එවැනි අයට වුවත් වාස්තු විද්‍යානුකූලව සුදුසු වර්ගඵලයන්ගෙන් ඉතා බලගතු නැකැත් යොදාගෙන කටයුතු කිරීමෙන් එම කටයුතු සාර්ථක කර ගත හැකි බව අපගේ මතයයි.

එවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් බොහෝ දෙනකුට ජේ‍යාතිෂයට හා වාස්තු විද්‍යානුකූලව නැකැත් පිළියෙල කර දීමෙන් එම කටයුතු සාර්ථක කර ගත් අය මේ සමාජයේ සිටියි. හතර වැන්නාධිපති නීච සතුරු හා පාප සංයෝගව සිටින අයට එම කටයුතු භංග කර ගැනීමට අවශ්‍ය සෙත් ශාන්ති කර ගැනීමද මෙහිදී වැදගත් වේ. නව නිවෙසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් සාදන කෙනෙක් නම් බොහෝ විට සූර්යා උත්තරායනයෙහි ගමන් කරන කාලයන් යොදා ගැනීම වඩාත් සුදුසුයි. තවද කෝණ මාසවලදීද මෙවැනි කටයුතු ආරම්භ කිරීම නුසුදුසු වේ.

කෝණ මාස යනු සූර්යයා මිථුන, කන්‍යා, ධනු හා මීන රාශිවල ගමන් කරන කාලයයි. මේ නිසා මෙම කාලසීමාවන් අත්හැර කෝණ හැර මාසයන්හි පමණක් නිවාස හෝ ගොඩනැඟිලි ආරම්භ කළ යුතුය. තවද විශේෂයෙන් නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා බලපාන චක්‍රයක්ද අනුගමනය කළ යුතුය. එම කටයුතු සඳහා නැකැත් ගැනීමේදී භූමි නාග හා වෘෂභ චක්‍රයන්ට එල්ල කර ගෙන එම නැකැත් ගත යුතුය.

නිවාස ඉදිකිරීමේදී නැකැත් 27ම නොගැළපේ. ඒ සඳහා සුදුසු නැකැත් වන්නේ රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත, සා, අනුර, මුල, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවතී යන නැකැත් වඩාත් සුබපල උදාකරන බව අපගේ අත්දැකීමයි. මෙම නැකැත් තම ජන්ම පත්‍රයට අනුව ගණින විට සම්පත් සෝම සාධක මෛත්‍රි හා පරම මෛත්‍රි යන නැකැතට හසුවිය යුතුය. සම්පත් සාධන, මෛත්‍රි පරම මෛත්‍රි නැකැතක් වීම වඩාත් සුබ පල උදා කරයි. මේ සඳහා යොදා ගන්නා නැකැතට වෘෂභ, සිංහ, කුම්භ හා වෘශ්චික රාශියන් යොදා ගත යුතුය.

මෙහි වෘශ්චික රාශිය හැර අනෙක් තුන (3) වඩාත් සුබයි. වෘශ්චික රාශිය වඩාත් සුබ නොවන බව ඇතැම් ආචාර්ය මතයයි. චර රාශීන් කොහෙත්ම සුදුසු නැත. චර රාශීන් වන්නේ මේෂ, කටක, තුලා, මකර යන රාශීන්ය. මිථුන, කන්‍යා, ධනු, මීන රාශීන්ද උතුම් බව පොත්පත්වල සඳහන් වේ. මේ සඳහා සුදුසු හෝරාවක්ද යොදා ගත යුතුය. ඒ සඳහා සුදුසු හෝරා වන්නේ සඳු, බුධ, ගුරු, සිකුරු යන හෝරාවන්ය. මෙම හෝරාවන්හි විස හෝරාද අත්හළ යුතුය.

ගොවිතැන් කටයුතු සඳහා කුජ, රවි, ශනි, හෝරාවල්ද, නැකැත් සුද්ධ කර සාදා ගත හැකිය. ඒ සඳහා සුදුසු තිථියක්ද යොදා ගත යුතුය. මේ හැරුණු විට වේද දෝෂ ආයවර්ග ‍ෙදාරටු, තැබීමේදී සැලකිය යුතු කරුණකි. නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීමේ මුල් ගල් තැබීම, බිත්ති බැඳීම, ප්‍රධාන ‍ෙදාරටුව තැබීම, වහලය ගැසීම හා ගෙට ගෙවදීම වැනි ඉතා සුබ නැකැත් අනුව කටයුතු කිරීමේදීත් එවැනි කටයුතු කිරීමේදී කොතරම් බාධක ප්‍රශ්න පැමිණියත් එවැනි කටයුතු ඉතා සාර්ථකව නිම කර ගැනීමට හැකියාව ලබන බව අපගේ දිගුකාලීන අත්දැකීමයි.

ජේ‍යාතිෂවේදී 

නන්දසේන වීරසිංහ

“නෙත්සර” ජේ‍යාතිෂ කාර්යාලය නාරම්මල පාර අලව්ව

077-6586632