සිසුන්ගේ අයිස් බලන්න සුසිල් පොත් බෑග් අවුස්සයි

0
263

පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍ය වසංගතයෙන් බේරා ගැනීම සඳහා, ලබන සතිය වන විට සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂා කිරීමට. කටයුතු කරන්නේ යැයි, අධ්‍යාපන ඇමැති සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අලුතින් භාවිත කරන මත්ද්‍රව්‍යයන්ට අදාළ පනත් යල්පැන ගොස් ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව අදාළ පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත්, ඇමැතිවරයා කීය.

මහා ප්‍රමාණයෙන් හෙරොයින් තොග රටට ගෙන ඒමේදී මුහුදේදීද අල්ලා තිබූ නමුත් ඉතාම සූක්ෂ්ම ආකාරයට පාසල් දරුවන් අතරට මත්ද්‍රව්‍ය ගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි සභානායකවරයා පැවැසීය.

මවුපියනුත්, පාසල් ප්‍රජාවත් මේ පිළිබඳව දැනට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ සඳහා සාධනීය පියවරක් ගන්නා බවත් ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය. 

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි