ශ්‍රී  ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව දශක කිහිපයකට පෙර තිබුණු තත්ත්වයට ගෙන එන්න අපිට අවශ්‍යයි

0
26

ශ්‍රී  ලාංකික ජනතාව මේ මොහොතේ මුහුණදෙන අභියෝගයන් හමුවේ සහ අර්බුදයන් හමුවේ ඔවුන්ගේ මුවගට සිනහවක් එක් කරමින් ආසියානු කුසලානය ශ්‍රී  ලංකාව වෙත රැගෙන යෑම තම කණ්ඩායමේ අරමුණ බවට පත්ව ඇති බව මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ කියා සිටියේය. ඔහු මේ බව පැවැසූයේ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (6දා) රාත්‍රියේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී  ලංකා මැදපෙළ පිතිකරුවා “ඕනෑම තරගයකදී ඉන්දීය පිල පරාජයට පත් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් මෙම තරගයෙට පෙර මෙන්ම මෙම තරගාවලිය තුළදීත් ශ්‍රී  ලංකාව තරග වැදුණු ආකාරය අනුව ඉන්දියාවට එරෙහිව ජය වාර්තා කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළා. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය ගැන සලකා බලද්දී අපි බොහෝ දුරක් ගමන් කර තිබෙන බව හැඟී යනවා.

අපි ගැන ලෝකයට හඬගා කීමේ අවශ්‍යතාවයක් අපට තිබුණා. විශේෂයෙන් සියලු අභියෝගයන්ගෙන් බැටකන ශ්‍රී  ලංකාව වෙත සිනහවක් එක් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ අනුව අපට අවශ්‍ය වූයේ එක් කණ්ඩායමක් ලෙස මෙම ජයග්‍රහණ ළඟා කර ගැනීම පමණයි. අපගේ අවසාන අරමුණ වී ඇත්තේ තරගාවලිය ජයගෙන ආසියානු කුසලානයට හිමිකම් කීම පමණයි”

 මෙම තරගයේ ජයග්‍රහණය පිළිබඳව ද අදහස් දැක්වූ භානුක “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දෙවැනි වර පන්දුවට පහරදෙන කණ්ඩායම් සියයට 95ක් ජයගැනීමේ හැකියාවක් ලබා ගන්නා බව පෙනී ගොස් තිබෙනවා. තරගයේ මැද පන්දුවාර කිහිපයකදී අපගේ කඩුලු අහිමි වුවත් සෑම අවස්ථාවකම ලකුණු ලබා ගැනීමේ වේගය ගැන අවධානයෙන් පිතිකරණයේ යෙදීම නිසා ජයග්‍රහණය පහසු වුණා.  කෙසේ වෙතත් නිරන්තරයෙන් කණ්ඩායමේ වෙනස්කම් සිදු කරන්නේ නම් ක්‍රීඩකයන්ගේ පවතින විශ්වාසය බිඳවැටෙන බව මාගේ හැඟීමයි.

ඒ අනුව නායකත්වයෙන්, පුහුණුකාරීත්වයෙන් සහ තේරීම් කමිටුවෙන් ක්‍රීඩකයන්ට අවශ්‍ය සහයෝගය සහ ආත්ම ශක්තිය මෙන්ම විශ්වාසය ලබා දෙනවා. මේ අවස්ථාවේදී එය වඩාත් සාධනීය කරුණක් බවට පත්ව තිබෙන නිසා මෙහි ධනාත්මක සාධකය එයයි. කණ්ඩායම නැවත ගොඩනැඟීමේදී අවශ්‍ය වූයේ එයයි. කොහොම වුණත් ශ්‍රී  ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව මෙයට දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වයට ළඟා කර ගැනීම අපගේ අවශ්‍යතාවයයි.” යනුවෙන් සඳහන් කළේය.