වන මැදදී කොටුවුණු කුඩ්ඩා ළඟ ලක්‍ෂ 8ක භාණ්ඩ

0
10

යතුරුපැදි දෙකක්, පා පැදි පහක් වතුර මෝටරයක්, ගෑස් සිලින්ඩර් දෙකක්, කාර් බැටරි, රබර් ෂීට් තොගයක්, හක්ක පටස් එකක් ඇතුළු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා භාණ්ඩ තොගයක් හොරකම් කළ පුද්ගලයකු එම භාණ්ඩ සමඟ පසුගියදා (06 දා) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. බුලත්සිංහල පරගොඩ, මෝල්කාව ප්‍රදේශයේ පදිංචි මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ 40 හැවිරිදි දෙදරු පියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

වසරක පමණ කාලයක පටන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල පාපැදි, යතුරුපැදි ඇතුළු භාණ්ඩ සොරකම් පිළිබඳව පැමිණිලි අනුව පොලිසිය පරීක්ෂණ සිදුකර ඇත. නමුත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

බුලත්සිංහල මොරවක ප්‍රදේශයේ කැලෑවක රහසිගත ලෙස වාඩියක සැකකරු සැඟව සිටින බවට ලද තොරතුරු අනුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා ඇතුළු නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රාත්‍රිය පුරා මහ වන මැද සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම් කළ යතුරුපැදි, පාපැදි ඇතුළු භාණ්ඩ බුලත්සිංහල බදුරලිය ඇතුළු ප්‍රදේශවල පුද්ගලයන්ට උකස් කර තිබියදී පොලිසියෙන් සොයාගෙන ඇත. සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුලංජන ඒකනායක, කාන්තා පොලිස් කොස්තාපල්  ජයකොඩි (5129), පොලිස් සැරයන් නෙවිල් (29267) පොලිස් කොස්තාපල්වරුන් වන රාජකරුණා (60030), වන්නිනායක (30940), මධුවන්ත, (9115) රාජපක්ෂ (97580,රත්නායක (8635),

පසිදු (102517) ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීමට සහභාගි වූහ.

මතුගම – වසන්ත කුමාර