වගා රකිද්දී අලි ආවම අපට දැනෙන මරබිය බලධාරීන්ට දැනෙන්නේ නෑ

0
37

දහසක් දුක් විඳිමින්, තෙල් පොහොර පවා නොමැතිව, අධික වියදමක් දරමින්, වගා කටයුතු කර මේ වනවිට අස්වනු නෙළන මට්ටමට පැමිණ ඇති තම කුඹුරු වගාවන්ට මේ දිනවල වල් අලි පැමිණ හානි සිදුවන බවට ගල්කිරියාගම කිරිඳිවත්ත ගම්මානයේ ගොවීහු මැසිවිලි නඟති.

තම ගම්මානය ආසන්නයේ පිහිටි කලාවැව ජාතික උද්‍යානයේ සිටින වන අලි තම වගා බිම්වලට මෙලෙස කඩාවදින බවට කිරිඳිවත්ත ගම්මානයේ ගොවීන් පවසන අතර අස්වනු නෙළීමට ආසන්න අක්කර 60-70ක කුඹුරු යායක් මෙලෙස වන අලින් විසින් විනාශ කරමින් සිටින බව එම ගොවීහු පවසති.

කිරිඳිවත්ත ගම්මානයේ ගොවීහු පිරිසක් වන අලින්ගෙන් මේ දිනවල තම කුඹුරු වගාවන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. කිරිඳිවත්ත ගම්මානයේ පදිංචි වසන්ත බණ්ඩාර මහතා එම ප්‍රදේශයට පවතින වන අලි තර්ජනය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මේ අලින්ගෙන් අපිට පුදුම කරදරයක් තියෙන්නේ වගාබිම් වනසනවා. වත්තක පොල් ගහක් තියා ගන්න බෑ. වී අස්වනු නෙළන්න ආසන්න කුඹුරු කාලා විනාශ කරනවා. කලාවැව ඉන්න අලි තමා මේ විධියට ගම් වදින්නේ. ඇත්තටම කලා වැවේ අලින්ට ඉන්න බෑ. දැන් ඒකේ කැලයක් නෑ. අලින්ට කන්න දෙයක් නෑ. විදුලි වැටක් තියෙනවා, ඒක හැමදාම කඩනවා. අලි ගැන කතා කරන අය ගොවියා ගැන මනුස්සයා ගැන කතා කරන්නේ නෑ.

එදා වගේ නෙවෙයි අද අලි ගහනය වැඩියි. ඒ නිසා මේ වැඩි අලි පිටරටකට හරි විකුණලා දාලා ඒ සල්ලිවලින් ඉතිරි අලින්ට ඉන්න අවශ්‍ය කැලෑ රක්ෂිත හා කෑම බීම සපයලා නඩත්තු කරන්න ඕනේ මගේ නම් අදහස. අද වෙනකොට අස්වනු නෙළන්න ආසන්න ගමේ කුඹුරු යායම අලි වනසනවා. ඒ පාඩුවට ගොවීන්ට වන්දියක්වත් දෙනවද? කුඹුර රකින්න ගිහින් අලි ගහලා මැරුණොත් මැරෙන්නේ පවුලේ පිරිමියා. ඊට පස්සේ ගෑනියි දරුවෝයි අනාථයි. එහෙම වෙච්ච පවුල් මේ වෙනකොට කොච්චරනම් තියෙනවද?

මේ කන්නයෙත් කුඹුරු රකින්න ගිහින් මේ දෙතුන් දෙනෙක්ම ජීවිත බේර ගත්තේ අනූ නවයෙන්. දහසක් දුක් විඳලා ගොවියෙක් ගොවිතැන කරගන්නේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක. වත්තක පොල් ගහක් හදා ගන්න නෑ. කොස් ගහක් අඹ ගහක් හදා ගන්න නෑ. හිතන්නකෝ පොල් ගහක් හදලා අවුරුදු 5-6ක් බලන්න ඉන්න ඕන ගෙඩි හැදෙන්න. ගෙඩි හැදෙන්න ආසන්න පොල් ගහක් අලි කෑවට පස්සේ ඒ මනුස්සයා ආයේ පැළයක් හදලා තව අවුරුදු ගණන් බලන් ඉන්නෙපැයි.

මිනිස්සු දහදුක් විඳලා කුඹුර කළාම අස්වැන්න ගන්න ඔන්න මෙන්න තියෙද්දි අලි කාලා යනවා. ඒ මනුස්සයගේ ඒ කන්නෙම බලාපොරොත්තු ඉවරයිනේ. අදටත් යායේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. කාටද මේවා කියන්නේ. බලධාරීන්ට අපි කියන්නේ මේ අලි ප්‍රශ්නය ගැන හොයලා බලලා අපිට නිසි විසඳුමක් ලබා දෙන්න.” වී වගාවට එල්ලව ඇති වන අලි තර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිරිඳිවත්ත පදිංචි පී.බී. වනසිංහ ගොවි මහතා  මෙසේ කීය.

“කුඹුරු ගොවිතැන ගැන නම් කතා කරලා වැඩක් නෑ. දැන් කන්න ගණනක් තෙල්, පොහොර කිසිම දෙයක් ගොවියට නෑ. කාබනික පොහොර අර පොහොර මේ පොහොර ගගා අරක මේක දාලා තමන්ම මහන්සි වෙලා තමා ගොවියෝ මේ පාර යාන්තම් වගාව කළේ. එහෙම කළත් අස්වනු නෑ. තියෙන අස්වැන්නත් අලි ඇවිත් කාලා යනවා. අන්තිමට ගොවියා සියඹලා ගෙනාවේ නැති ගානයි. කුඹුරු කරන්න බෑ.

හාන්න ගියාම අක්කරයට රුපියල් 20,000යි – 30,000යි. පොහොර මිටියක් 40,000යි. අස්වනු නෙළන්න අක්කරයකට 25,000යි. භූමිතෙල් ලීටරයක් 340යි. වී මිල රුපියල් 120යි. ඔන්න වී ගොවිතැන. ගෙදර අයට කැඳ කෝප්පයක් දෙන්නවත් හාල් ටිකක් ගන්න ලැබෙන්නේ නෑ මේ අලි ප්‍රශ්න නිසා. කලාවැවේ ඉන්න අලි රෑට ඉන්නේ මේ අපේ කුඹුරුවල. හැමදාම හවස 4-5 වෙනකොට මේ කුඹුරුවලට අලි එනවා. පාරකවත් යන්න බෑ. හදිස්සියකට ගල්කිරියාගම රෝහලට යන්න බෑ. රෑකට පාරවල්වලත් එක්ක අලි. ගොවියෝ නොමැරී බේරුණු අවස්ථා එමටයි.

මේ අලින්ගෙන් කුඹුරු බේර ගන්න ගිහින් අපිට ජීවත් වෙන්නත් බැරිවෙන තත්ත්වයක් තියෙන්නේ. මේ යායේ අක්කර 60ක් – 70ක් තියෙනවා. ඒවා ඉතිං අලින්ගේ රජදහනවල් වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් අපිට වෙන පාඩුව ගැන බලන්නෙත් නෑ. ඊටම අපේ ජීවිතත් අවදානමක තියෙන්නේ. එළිවෙනකම් පැල්වලට වෙලා අලිත් එක්ක යුද්දේ. කුඹුර රැක්කොත් ජීවිතේ නෑ ජීවිතේ රැකගත්තොත් කුඹුර නෑ.

මේ ළඟදීත් අපේ ගොවියකුව අලියෙක් එළවලා අනූනවයෙන් බේරුණේ. පැලේ ඉද්දි කෑ ගහද්දී ඇවිත් පැල ළඟම කනවානේ මේ අලි. මේ අලි බය නෑ දැන් ඉස්සර වගේ. ජීවිත පරදුවට තියලා කුඹුරු වගාව කළත් අන්තිමට ඒකටත් නිසි මිලක් නෑ. දැන්නම් ගොවිතැන එපාම වෙලා තියෙන්නේ. කලාවැව වටේ අලි වැටක් තිබුණත් ඒක හැමදාම අලි කඩනවා. ගොවියන්ට තියෙන මේ අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා වගේම ගොවියගේ වී අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න කියලත් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.”

කුඹුරේ පැලේ සිටියදී වන අලින්ගෙන් දිවි බේරාගත් කිරිඳිවත්ත ගම්මානයේ පදිංචි පී. කරුණාරත්න ගොවි මහතා සිය අත්දැකීමද විස්තර කරමින් මෙසේ කීවේය. “වන අලි ප්‍රශ්නය නිසා ගොවියෝ යායේ පැල් හදාගෙන ඒවයේ තමා රෑට ඉන්නේ. මගේ පැල මම හදලා තියෙන්නේ බිම. එදා රෑ කුඹුරු යායට අලි ආවා. ගොවියේ කෑ ගැහුවා රතිඤ්ඤා දැම්මා. ඒත් වැඩක් වුණේ නෑ. යායට කඩා වැදුණු අලි රංචුව යාය මැදින් කාගෙන කාගෙන මගේ කුඹුරට ආවා. මම කෑ ගැහැව්වා ඒත් නැවතුණේ නෑ. ඒ ඇවිත් මම කෑ ගහද්දිම ටෝච් එළියට

එළවාගෙන ඇවිත් මගේ පැල ළඟම කන්න ගත්තා. පැලයි අලියි අතරේ දුර මීටර් 10ක්වත් නැති තරම්. මට කරකියාගන්න දෙයක් නෑ. මම කුඹුර රැක ගැනිල්ල පැත්තක තියලා. ටෝච් එකත් නිවාගෙනම පැල පිටිපස්සේ තියෙන වැවට පැනලා තමයි ජීවිතේ බේර ගත්තේ. ඒ වෙලාවේ මට දැනුණ මරබිය දන්නේ සිද්ධියට මුහුණ දුන් මමම තමයි. ඕවා ලොකු පුටුවල ඉන්න බලධාරීන්ට දැනෙන්නෙ නෑ. මෙහෙම කොහොමද ඉතිං අපි ගොවිතැන් කරන්නේ. ජීවිතේ බේරගන්න ගොවිතැන් කළාම ගොවිතැන නිසා ජීවිතේ නැති වෙන තත්ත්වයක් දැන් මේ ප්‍රදේශයේ අපිට තියෙන්නේ. මේ අලි මිනිස්සුන්ට පන්නනවා. බය නෑ. අඩුම තරමේ අපිට අලි වෙඩිල්ලක්වත් නෑ.

කිරිඳිවත්ත ප්‍රදේශයේ පදිංචි ගොවියකු වන රුක්මන් නිරෝෂණ මහතා පැවැසුවේ මෙවන් කරුණකි. “කලාවැව යාබදව ඉන්න අපිට අලින්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. අස්වනු වී ඇටයත් බිම දාපු දා ඉඳලා අස්වැන්න නෙළනකම් පුදුම දුකක් විඳින්නේ අපි ගොවියෝ වෙලා. විදුලි වැටක් කලාවැව වටේ ගහලා තියෙනවා ඒත් වැඩක් නෑ. හැමදාම ඒක අලි කඩනවා. හැමදාම ගම්වල අලි. සවසකට පාරකවත් යන්න බෑ. සමහර දවස්වලට දවල්ටත් අලි. අස්වැන්න නෙළන කාලේ වෙනකොට අලි රංචුගැහිලා කුඹුරුවලට එන්නේ. අද එකෙක් ආවොත් හෙට ඊට වැඩියි.

මේ කුඹුරු ඔක්කොම අලි විනාශ කරනවා. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න තමා වෙන්නේ. හිතන්නකෝ ගොවියෝ හිටියට අපි මොනතරම් දුකක් විඳිනවද කුඹුරක් අස්වනු නෙළන තත්ත්වෙට ගන්න. අනෙක මේ කන්න කිහිපයක් අපිට පොහොර නෑ. තෙල් නෑ. ඉන්ධන ගිනි ගණන්. ගෙවල්වල තිබ්බ කනකර බඩු පවා උකස් කරලා අපි කුඹුරු කළේ. එහෙම කරලා රෑට අලිත් එක්ක කුඹුරේ යුද්ද කර කර ජීවිත බේරගන්නේ බොහොම අමාරුවෙන්. එහෙම තියෙද්දි කොහොම හරි අලි ඇවිත් කුඹුරු කාල යනවා.

මඩාටුගම _ ප්‍රසංග ඒකනායක