රට හදන තැන

0
88

ශ්‍රී  ලංකාවේ ළමයින් හා මවුවරුන් අතර මන්දපෝෂණය පිළිබඳ කල් තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) දැක්වූ අදහස්. පාර්ලිමේන්තුව අද (08දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා : – ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්

“2016 වසරට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී  ලංකාවේ පාසල් යන සිසුන්ගේ කෙටි කාලීන මන්දපෝෂණ තත්ත්වයේ අඩු වීමක් පෙන්නුම් කරනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවැසීය.

“2015 වසරේ සහ 2021 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණය කර ජාතික මට්ටමේ තක්සේරුවක් කර  නැහැ. සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශකය මඟින් දිගු කාලීනව සිදුවන පෝෂණ උෟනතා මත ඇති වන මන්දපෝෂණ තත්ත්වය පැහැදිලි කරනු ලබන අතර කෘශ බව පිළිබඳ දර්ශකය මඟින් කෙටි කාලීනව සිදුවන පෝෂණ උෟනතා මත ඇතිවන මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරනවා.

2016 වසරේ සිට 2020 දක්වා වසරවල සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශක හා කෘශ බව පිළිබඳ දර්ශක අගයන්  පහත පරිදි වෙනවා. කොවිඩ් තත්ත්වය මත පාසල් වෛද්‍ය පරීක්ෂණ සඳහා නිසි පරිදි තොරතුරු එක්රැස් කිරීමක් සිදුවී නැහැ. මිටි බව පිළිබඳ දර්ශකය – පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දර්ශක අනුවයි. 2016 – 7.7%, 2017 – 7.3%, 2018 – 4.8%, 2019 – 5.1%, 2020 – 5.6%

ඒ අනුව මිටි බව පිළිබඳ දර්ශකය සලකා බැලීමේදී 2016 වසරට වඩා 2017 වඩා දිගු කාලීන මන්දපෝෂණ තත්ත්වය 0.4%ක් පමණ අඩුවීමක් වාර්තා වී ඇති අතර 2018 වසරට සාපේක්ෂව 2020 වනවිට 0.8%ක පමණ වැඩි වීමක් සිදුව ඇත.

කෘශ බව පිළිබඳ දර්ශකය –

2016 – 20.45%, 2017 – 17.4%, 2018 – 18.6%, 2019 – 18.1%, 2020 – 17.3%

ඒ අනුව 2016 වසරට සාපේක්ෂව 2020 වසරේ 3.15%කින් අඩු වීමක් පෙන්නුම් කරයි.

මේ අතර ක්‍ෂුද්‍ර පෝෂණ උෟනතාවන්ද දරුවන්ගේ මන්දපෝෂණය තත්ත්වය සඳහා බලපෑමක් ඇති කරනු ලබන බවද දත්ත උපුටා දක්වමින් අමාත්‍යවරයා පැවැසීය.

ඒ අනුව 2015 සිට 2017 දක්වා වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් සිදුකළ පරීක්ෂණ දත්ත අනුව දරුවන්ගේ යකඩ, විටමින් A, විටමින් D උෟනතාව පහත පරිදි වේ.

2015 අවුරුදු 6 – 9 වයස් කාණ්ඩය – යකඩ උෟනතාව – 13.5%, අවුරුදු 10 -12 වයස් කාණ්ඩය යකඩ උෟනතාව – 8.2%, අවුරුදු 12 -19 වයස් කාණ්ඩය යකඩ උෟනතාව – 8.5%,

එහෙත් 2021 වසරේ රට තුළ පවතින  තත්ත්වය හේතුවෙන් මෙම දර්ශක අගයන් ඉහළ ගොස් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකියි. මෙම වසරේදී  වාර්තා නිසි පරිදි ලබා ගැනීමට හැකි වුණොත් ඉහත තොරතුරු නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය තුරන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  සහයෝගයද ලබා ගනිමින්  විවිධ  ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. චීන සමූහාණ්ඩුවෙන් ලබාදෙන සහල් මෙටි්‍රක් ටොන්  දස දහසක  ආධාරය පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන පාසල්වල දරුවන්ට නිවෙසේදී පරිභෝජනය සඳහා කිලෝ දහය බැගින් ලබා දෙනවා.

පාසල් පෝෂණ වැඩසටහන පාසල් 7,926ක ක්‍රියාත්මක කරනවා.  ඒ වගේම පාසල් ගණනාවක දරුවන් වෙනුවෙන් වියළි ආහාර මල්ලක් ලබාදීම, ඒ වගේම සේව් ද චිල්ඩ්රන් ආධාර මත  පාසල් 847ක් සඳහා ටින් මාළු හා කහ පරිප්පු ලබා දුන්නා. වැරදි ආහාර රටාත් මේ සඳහා බලපා තිබෙනවා. ඒ වගේම ෆෝලික් ඇසිඩ් හා යකඩ පෙති ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීම, වෛද්‍යවරුන් වෙත යොමුකිරීම, පාසල් ප්‍රජාව හා වෙනත් ආයතන එක්ව විවිධ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සිංහ සමාජ පාසල් සියයක දරුවන් වෙනුවෙන් එක් දරුවකුට රුපියල් 150 බැගින් ආහාර වේලක් වෙනුවෙන් ලබාදීමට එකඟවීම ආදියත් සැලසුම් කර තිබෙනවා.

වෛද්‍යවරු මන්දපෝෂණය ගැන කියද්දී සෞඛ්‍ය ඇමැති ඒක බොරු කරන්න හදනවා : – චමින්ද විජේසිරි

“වෛද්‍යවරු රටේ මන්දපෝෂණය තියෙනවා කියද්දී සෞඛ්‍ය ඇමැති ඒක බොරු කියනවා. මේක ලොකු ප්‍රශ්නයක්” යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි පැවැසීය.

“මේ රටේ දුක් විඳින දරුවන්ගේ මන්දපෝෂණය ගැන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඔවුන්ගේ පවුල්වලට ලඝු කරලා කතා කරනවා. නමුත් ඔවුන්ගේ පවුල්වල දරුවන්ට මන්දපෝෂණ තත්ත්වයන්ගේ ප්‍රශ්න නැහැ. මේක සාමාන්‍ය දරුවන්ට තියෙන ප්‍රශ්නයක්.

හිටපු බිත්තර ඇමැතිතුමා, ඩී.බී. හේරත්  මැතිතුමා, ඔබේ කඳවුරේම හොරු ටික හොරාකාපු සල්ලි එකතු කළා නම් මේ රටේ ජනතාවට කන්න දෙන්න පුළුවන්. ඒ වගේම රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කියනවා ළමා රෝහලට එන දරුවන්ගේ බහුතරයකට මන්දපෝෂණය කියලා. රමේෂ් ඇමැතිවරයා කියනවා යුනිසෙෆ් සංවිධානයේ දත්ත බොරු කියලා. නමුත් ඒ තත්ත්වය බොරු නැහැ. මේ පත්තරේත් ඒ ගැන  තොරතුරු පළවෙනවා.  ‘මව්බිම’ පත්තරේ යන නිවුස් බොරු කියන්න බැහැ. මේ තියෙන දේ ඇත්ත.

අපේ මානවයා නැති කරන තැනට රට පත්වුණේ කොහොමද? අද කැබිනට් රැස්වෙලා සාකච්ඡා කරලා තියෙන්නෙ මන්දපෝෂණය ගැන නෙමෙයි. පළාත් පාලන මැතිවරණය ගැන. ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න ඉඩ දෙනවලු. සමෘද්ධි  නිලධාරීන් තම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඔවුන්ට මැතිවරණයට තරග කරන්න ඉඩ දුන්නෑ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් කරමින් ඉන්නවා. අපේ රටේ වෛද්‍යවරුන් දක්ෂයි.

එතුමන්ලා  දක්ෂ නිසා තමයි මේ තත්ත්වයෙන් හරි රට තියෙන්නේ. හැබැයි ඔවුන්ට දරුවන්ට ආහාර ලබා දෙන්න බැහැ. ඒ පිළිබඳ දත්ත සහ වැඩපිළිවෙළවල් පමණයි ඔවුන්ට ඉදිරිපත් කළ හැකි වන්නේ. මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේ රට ගන්න තීන්දු තීරණ එක්ක. බොහෝ ජනතාව දුෂ්කරතා අපි දකිනවා. පාර්ලිමේන්තුවේ ඒ  කතා නෑ. මිනිස්සු කන්න නැතිව කෝච්චියට පනිනවා. ගඟේ පනිනවා. මේකට සාධාරණ වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

පක්ෂය තුළ මෙන්ම ආණ්ඩුව තුළත් ඇතිවන ආහාර අහේනිය ගැන අප අරගල කළා : – වසන්ත යාපා බණ්ඩාර

“අපේ ආර්ථික අර්බුදය පුපුරා යෑම සිද්ධ වෙන්නේ, පසුගිය අප්‍රේල් 12 වැනිදා රට බංකොලොත් බවට පත් වෙනවා කියලා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව“ යැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අද රටේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ කාරණාව ඉතාමත්ම ඛේදජනක තත්ත්වයට පත්වෙලා. පාර්ලිමේන්තුව ඉතිහාසයේ ඉඳලා නියෝජනය කළ අය වගේම වර්තමානයේ අපිත් මේ සඳහා වගකිවයුතු තත්ත්වයකට වැටිලා තියෙනවා.

යුනිෆෙස් වාර්තාවට අනුව ලංකාවේ අවුරුදු 5ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 56,000ක් ඉන්නවා.

මේ වගේ තත්ත්වයක් දරුවන්ට උදා වෙලා තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ප්‍රබල විධියට කාලීනව කඩාවැටීමේ හේතුව නිසයි.

අපි මේ අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ වැරදි ආර්ථික තීන්දු ගැනීම පිළිබඳ පක්ෂය තුළ සහ ආණ්ඩුව තුළ ඉඳිමින්  අපි විවේචන එල්ල කළා. මේ විවේචනවලදී අපි කිව්වා ප්‍රබල වශයෙන් මෙය නිවැරදි කර ගන්න කියලා.

කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, කාබනික ගොවිතැන බවට දවසකින්, එක් රැයකින් පරිවර්තනය කරන කොට ඊට එරෙහිව අපි කතා කළා. නමුත් අපි පාර්ලිමේන්තුවේ හිටපු පසුපෙළ මන්ත්‍රිවරු නිසාවෙන්ම පිළිගන්නවා වගේ අපි කියපු කතා නෑසූකන්ව හිටපු යුගයක් තමයි පසුගිය ඉතිහාසයේ තිබුණේ.

සමහරු හිතාගෙන ඉන්නවා නම් පොල් කෝම්බ වගේ අපි ගහගෙන ආපු අය කියලා ඒක එහෙම නෙවෙයි. පක්ෂය තුළ සහ ආණ්ඩුව තුළ දරුවන්ගේ මන්දපෝෂණය පිළිබඳව සහ මිනිසුන්ගේ ආහාර අහේනිය පිළිබඳව අරගලය කළේ අනාගතයේ මේ වගේ තත්ත්වයක් උදාවෙනවා කියලා අපේ හිත්වලටත් පහළ වූ නිසයි.

රටේ ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න එළියේ ඉඳලා පුළුවන්ද? මගේ හෘද සාක්ෂිය ඒ ගැන මගෙන් ප්‍රශ්න කරනවා. රට බංකොලොත් නම් ඒ බංකොලොත්භාවය පිළිබඳව ප්‍රකාශයට පත් කරන්න ඕන වෙන්නේ මූල්‍ය වගකීම තියෙන පාර්ලිමේන්තුව හරහා කියන එකයි අපි කියන්නේ.”

ක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට භාරදුන්නා වගේ මේ දේශපාලනයත් තරුණ පිරිසකට භාර දෙන්න : – ශානික්‍යන් රාසමානික්කම්

“මඩකළපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 05ට අඩු ළමයි 55,000කට කිට්ටු වෙන්න ඉන්නවා. මේ දරුවන් 55,000න් සියයට දහයකට කිට්ටු වෙන්න මන්දපෝෂණය හෝ පෝෂණ උෟනතාවක් පවතින බවට සමීක්ෂණයකින් සොයාගෙන තියෙනවා” යැයි ශානික්‍යන් රාසමානික්කම් පැවැසීය.

“ඊට අමතරව ගැබිනි මාතාවන් 11,000ක් ඉන්නවා. 2021 නොවැම්බර් මාසයේ සියයට දහයක් තිබූ මන්දපෝෂණ ප්‍රතිශතය 2022 අගෝස්තු වනවිට සියයට දාහතක් දක්වා වර්ධනය වෙලා. සාමාන්‍ය දරුවෙක්ගේ මොළේ වර්ධනය වන්නේ අවුරුදු 2,3 ඇතුළත කාලයේ කියලා වෛද්‍යවරු කියනවා. අපේ දිස්ත්‍රික්කය ගත්තම ගර්භණී මවුවරුන්ගේ බර පවා අඩුවෙලා කියලා දැනගන්න ලැබිලා තියෙනවා.

ඒ වගේම පෝෂණය මදි කියන දරුවන් ඉන්න ප්‍රදේශ සොයාගෙන දවල් ආහාරය ඒ දරුවන්ට ලබාදෙන වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ ආහාරවලට ලබාදෙන්නේ රුපියල් 30යි. දැන් ඒක රුපියල් 60ට වැඩි කරලා තියෙනවා. හැබැයි මම මේ වේත්‍රධාරී නිලධාරියාගෙන් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් 50ක් වෙනවා කියලා. එතකොට තණකොළ තමයි රුපියල් 60කට දෙන්න වෙලා තියෙන්නේ. ඒ රුපියල් 60ත් පළාත් සභා හරහා පාසල්වලට ලැබෙන්නේ නැහැ. දැන් ඒ දරුවන්ට කන්න බොන්න ලැබෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා.

ලංකාවේ මිනිස්සු මන්දපෝෂණය තත්ත්වයට ගෙනාපු පුද්ගලයන් නැවත වාරයක් අලුත් දේශපාලන නාට්‍යයක්, පසුගිය සතිය ඇතුළත පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මේ දේශපාලන අර්බුදය ඇති කරන්න ප්‍රධාන වශයෙන් පෙළගැසී සිටි කට්ටිය මම දැක්කා අලුතින් පක්ෂයක් පටන් අරන් තියෙනවා උත්තර ලංකා සභාගය ද මොකක්ද කියලා.

දැන් මේ සියලුදේටම වගකියන්න ඕන ඔය සෙට් එකමයි. එතැන ඉදිරිපෙළ හිටපු නායකයා, උප නායකයා ඔක්කොම ටික මොනාද කිව්වේ, මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ ඇවිල්ල රට හදනවා කියලා. දැන් කියනවා නායකයා විවේකය අරගෙන එයාගේ මුනුපුරත් එක්ක ඉන්න කියපු නිසාලු මේ රටට මේ තත්ත්වය ඇතිවුණේ. එතකොට එදා දැනගෙන හිටියේ නැද්ද මේක.

මම ඒකයි කිව්වේ අර ක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට භාරදුන්නා වගේ මේ දේශපාලනයත් තරුණ පිරිසකට භාර දෙන්න. මේ වගේ ඩ්‍රාමාකාරයෝ, බොරුකාරයෝ නැවත වාරයක් ලංකාවේ ජනතාව විශ්වාස කරන්න එපා.”

පවුල් 61,000ක් පමණක් හොයාගෙන මන්දපෝෂණ ගැටලුවට විසඳුම් දෙන්න බෑ : – හරිනි අමරසූරිය

මන්දපෝෂණ තත්ත්වය සමාජ ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් බවත් පවුල් 61,000ක් හොයාගෙන මේ අර්බුදයට විස¾දුම් දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“මන්දපෝෂණය පිළිබඳ විවිධ වාර්තාවලින් දිගින් දිගටම සංඛ්‍යා දත්ත වාර්තා වුණා. කාලයක් තිස්සේ විවිධ කොටස් තුළ මෙම ප්‍රශ්නය මතු වෙමින් තිබිලා තියෙනවා. අද සමාජය තුළම මේ ප්‍රශ්නය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ආහාර අනාරක්ෂිතභාවය මේ වනවිට නිශ්චිත කණ්ඩායමකට විතරක් නෙමෙයි ලැබෙන වාර්තා අනුව සමාජයේ පවුල් 70% කට වගේ ආහාර අනාරක්ෂිතභාවය බලපානවා.

අපි මේක කතා කරනකොට හිතන්න වෙනවා කාලයක් තිස්සේ මේ ප්‍රශ්නවලට ඇයි ඒ ගැන අවධානයක් දුන්නෙ නැත්තෙ සහ මේ විදිහට කොහොමද ප්‍රශ්න මෙච්චර සශ්‍රීක රටක මතුවුණේ කියලා. මන්දපෝෂණය වැනි මාතෘකාවක් බවට පත් වීම ගැන බැරෑරුම් ලෙස හිතා බලන්න ඕනේ දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට හේතුව අම්මලාගේ හැසිරීම හෝ පවුල්වල හැසිරීම කියන එකට ලඝු කිරීම නම් මම විරුද්ධයි. ඔවුන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කරලා ඔවුන්ට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හොයමින් යන නිසා මේ ප්‍රශ්න ඇතිවුණා කියන එක ගැන අපි විරුද්ධයි.

මේ ප්‍රශ්නෙට ඇත්ත හේතු හොයන්න ඕනෑ.  අපිට පිළිගන්න වෙනවා දශක ගණනාවක් තුළ ක්‍රියාත්මක කළ ආර්ථික  ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් කියලා. බහුතරයක් රටේ පුරවැසියන්ගේ පවුල් අනාරක්ෂිත තැනට ඇද දාලා. එවැනි තත්ත්වයක් තුළ ආහාර අනාරක්ෂිතභාවය හා මන්දපෝෂණය ආර්ථික සමාජ ක්‍රමයේම ප්‍රතිඵලයක්. අපි දන්නවා දරුවන් බඩගින්නෙ පාසල්වලට ඇවිල්ල කලන්තෙ දානවා. සමහර පාසල්වල උදේ රැස්වීම් නවත්තනවා. අපේ පාරවල් පද්ධතිය හරියට  හදලා නැහැ. දරුවන්ට සුරක්ෂිතව පාරක යන්න බෑ. දරුවන් කානුවෙ  වැටිල මැරෙනවා.

එවැනි අනාරක්ෂිත සමාජයක් අපි බිහි කරලා තිබෙන්නේ. මවුවරුන්ගේ පෝෂණය තහවුරු කරන්න බැරි වෙලා තියෙන්නෙ එක හේතුවක් නිසා නෙමේ. සමස්ත ආර්ථිකය තුළම අපි අනාරක්ෂිතභාවය නිර්මාණය කරලා තිබෙන්නේ. අපි අදටත් තවම කතා කරන්නේ අපේ සර්ව ආර්ථික Macro Economic Policy එක කොහොමද හදා ගන්නෙ කියලා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති තුළ මිනිසුන්ගේ ජීවිතවලට පවුල්වලට එදිනෙදා ජීවිතවල මූලික අවශ්‍යතාවලට දශක ගාණක් ලෙස අපි කතාකරපු, ක්‍රියා කරපු ප්‍රතිපත්ති මොන විදිහටද බලපාන්නේ කියල අද අපි ඇස් ඉදිරිපිට පේන්න තිබෙනවා.”

ඉතියෝපියාවේ සෝමාලියාවේ වගේ තත්ත්වයක් මේ රටේ ඇතිවන්නේ නෑ : – වෛද්‍ය රමේෂ් පතිරණ

“ඉතියෝපියාවේ, සෝමාලියාවේ කෘශ දරුවන් වගේ දරුවෝ මේ රටේ   බිහිවෙන්නෙ නෑ. එවැනි බොරු මත ප්‍රචාරය නොකරන්නැ”යි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ පැවැසීය.

“රටේ මන්දපෝෂණය තත්ත්වය 2015දී    15.6%ක් වෙලා තිබුණා. මේ තත්ත්වය ක්‍රමානුකූලව හොඳ අතට පරිවර්තනය වෙමින් තිබෙන්නේ. මේක 2021 වන විට 12.2% දක්වා අඩුවෙලා. මේක ඉතා පැහැදිලි වර්ධනයක්. මන්දපෝෂණ තත්ත්වයෙන් අපේ සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය අපි අවතක්සේරු කළ යුතු නැහැ. මේක රජයක්වත් දේශපාලනඥයෙක්වත් ආණ්ඩුවක් කළ දෙයක් නෙවේ. රජයේ ආයෝජන ලෙස සෞඛ්‍ය සේවාවේ අපි ලබාගෙන තිබුණු ජයග්‍රහණය පිළිබඳ වර්තමානයේ විවිධ කතා කියන්න පුළුවන්.  මේ පිළිබඳ තොරතුරු අපි දන්න විදිහට ඉතාම මෑතදී නිකුත් කරපු ප්‍රතිඵල. මම මේක සභාගත කරනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා මේ වාර්තාවේ  2021 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය සැලකිල්ලට ගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 75ක් පදනම් කරගෙන තොරතුරු එකතු කර මෙම වාර්තාව සකස් කර තිබෙනවා. අධි මන්දපෝෂණ තත්ත්වය, පෝෂණ උෟනතාවන් නිසා ඇතිවන මන්දපෝෂණ තත්ත්වය 2021 පවතින්නේ 1.3%ක ප්‍රතිශතයක්.  බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා ලංකාවේ දරුවන්ගේ පෝෂණ මට්ටම පහුගිය දශක දෙක තුන වර්ධනය වෙලා තිබෙනවා කියලා. මේ ආර්ථික අර්බුදයත් එක්ක දරුවන්ගේ පෝෂණ මට්ටම කඩා වැටීමේ අවදානමක් තිබෙනවා.

ඒ වෙනුවෙන් අන්තර්ජාතික සංවිධාන, ලෝක ආහාර සංවිධානය, යුනිසෙෆ් වගේම මෙරට වැඩපිළිවෙළ කිහිපයක් සූදානම් කර තිබෙනවා. පොහොර ගැටලු විසඳමින් තිබෙනවා. ළමා රෝග විශේෂඥයන්ගෙන් පැහැදිලි තොරතුරු අනුව බහුතරයක මතය මෙවැනි ආකාරයේ සුවිශේෂී අනාරක්ෂිත තත්ත්වයක් දරුවන්ට හට ගෙන නොමැති බවයි.  විවිධාකාර මත තිබුණා. ළමා රෝග පිළිබඳ ලංකාවේ සියලුම වෛද්‍යවරුන් නියෝජනය කරන අංශයක් තිබෙනවා. ඔවුන්ගේ මතය හැටියට මෙවැනි අනතුරක් දැනට මතුව නැහැ.

මන්දපෝෂණයට කරුණු දෙකක් තිබෙනවා. එකක් ආහාරමය කාරණය. අනෙක රෝගී තත්ත්වය. දරුවන්ගේ පෝෂණ මට්ටමට ආහාර වැදගත්. අනිත් කාරණේ මේ රටේ දරුවන්ට බර අඩු වෙන්නට අන්තර්කාලීන ආසාදිත තත්ත්වයන් ඉතා පැහැදිලිව බලපානවා. මේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ බොහෝවිට පාසලේදී. 2020 වසරේදී 2021 වසරේ දරුවන්ගේ පාසල් ගමන නැවතුණා. හැබැයි පාසල් නොගිය නිසා දරුවන් ආසාදිත තත්ත්වයන්ට ගොදුරු වීම අඩුවුණා.”

හදවතයි මොළයයි මන්දපෝෂණයට ලක් වූ පිරිසක් නිසා මේ ඛේදවාචකයට අප තල්ලු වෙලා : – වීරසුමන වීරසිංහ

ඇතැම් පාලකයන්ට, නායකයන්ට, නිලධාරීන්ට, මන්දපෝෂණයක් නැති වුවත් ඒ අය අධිපෝෂණයක් භුක්ති විඳින නිසා ඒ අයගේ ශරීරය අධිපෝෂණය වුණාට හදවත සහ මොළය මන්දපෝෂණයට ලක්වී ඇති නිසා මෙම ඛේදවාචකය නිර්මාණය වී තිබෙනවා යැයි

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ පැවැසීය. “හදවතත් මොළයත් හරියාකාරව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලය තමයි දීර්ඝකාලීනව මේ ඛේදවාචකයට අපි තල්ලු වෙලා තියෙන්නේ.

දවස් 365ම හිරු එළිය ලැබෙන මධ්‍යම කඳුකරයෙන් පටන්ගෙන ගංගාවල් 103ක් ලංකාවේ හතර දිග්බාගෙටම ගලාගෙන යන, සමකය ආසන්න වීම නිසා හිරු එළිය වගේම පොළොවේ තියෙන ගුණාත්මකභාවයත් ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවුණු රටක ඛේදනීය තත්ත්වය පිළිබඳව, නිදහස ලැබිලා අවුරුදු 74කට පස්සේ මන්දපෝෂණය ගැන පාර්ලිමේන්තුවේ දවස් දෙකක් වාද විවාද කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.

මන්දපෝෂණය නිසා අපේ රට වැටුණු ඛේදවාචකය මේ රට ගමන් කළ ආර්ථික ගමන් මඟේ ඛේදවාචකය හොඳට පෙන්වන කැඩපතක් බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මේ සංඛ්‍යාලේඛන බොරු. මේ පරණ සංඛ්‍යාලේඛන මෙහෙට ප්‍රශ්නයක් නැහැ.

සුඛිත මුදිත මහා හොඳ රටක් තියෙනවා. මම දන්නේ නැහැ එතුමා ඉතාම හොඳ රාජ්‍ය නිලධාරියෙක්. මම හිතන්නේ එතුමාගේ හෘදසාක්ෂිය නෙවෙයි, එතුමාට කවුරුහරි කියන දෙයක් කියන්න සිද්ධ වෙලා.

එතුමා කියන්නේ මේක මේ මෑත කාලයේ තොරතුරු නෙවෙයි, පරණ තොරතුරු මත තමයි කියන්නේ කියලා. පරණ තොරතුරු මත ඉඳගෙන ප්‍රතිඵලය මේක නම් දැන් තියෙන තොරතුරු එක්ක මේ තත්ත්වය මීටත් වඩා ඛේදවාචකයකට තල්ලු වෙනවා සත්තයි.

මේ රටේ මිනිස්සු විඳින දුක්වේදනා සහ ආර්ථික අහේනිය දන්නවා. ඒ නිසා මේ මන්දපෝෂණය අලුත් සංඛ්‍යාලේඛනයට ගණන් හැදුවොතින් නිසැක වශයෙන් දකුණු ආසියාවේ පළමුවැනි ස්ථානයත්, ලෝකයේම ඉහළම ස්ථානයකටත් තල්ලු වෙනවා නොඅනුමානයි. දැන් මේකට අපි සතුටු වෙලා අත්පුඩි ගහන්නද? අපිට මේකේ වේදනාවක් තියෙනවා.

පක්ෂ – විපක්ෂ විධියට අපි මොන දේ කතා කළා වුණත් මේකට ප්‍රතිකර්ම හොයන එක අපේ පළමු කාර්යභාරය බවට පත් වෙනවා.”

එදා ත්‍රිපෝෂවලින් ස්වයංපෝෂිතව සිටි අපට අද මන්දපෝෂණයට මුහුණ දෙන්න සිදුවෙලා : – රාජිත සේනාරත්න

ත්‍රිපෝෂ නිෂ්පාදනයෙන් වෙළෙඳපොළ ජයගත් අප එදා රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදලට පවා බැර කළ බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය

“අපි 2015 බලයට පත්වෙනකොට ලංකාවට ත්‍රිපෝෂ නිෂ්පාදනය කළේ අවශ්‍යතාවයෙන් සියයට 74ක් පමණයි. පසුව අපි අවුරුද්දක් විතර යනකොට ඇමරිකාවෙන් උපකරණ ගෙනල්ලා දෙවැනි ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව හදලා අඩු බර දරුවන්ට, කිරිදෙන මවුවරුන්ට සහ ගැබිනි මවුවරුන්ට ලංකාවේ සියයට සියයක්ම ත්‍රිපෝෂ බෙදා හැරියා. එහෙම බෙදා හැරලා ඒ වැඩසටහන සාර්ථක කළා.

දෙවැනි කර්මාන්තශාලාව හැදුවම අපිට ප්‍රශ්නයක් තිබුණා ත්‍රිපෝෂ අතිරික්තයක් තිබුණු එක. අපි ඒක සුවපෝෂ කියලා වෙළෙඳපොළට නිකුත් කළා. ඒක අපි අවුරුද්දක් වෙනකොට වෙළෙඳපොළේ  සමපෝෂ කියන එක පරද්දලා අපි ජය ගත්තා.

වෙළෙඳපොළ ජය ගැනීම තුළ අපිට විශාල ලාභයක් ඇති වුණා. ඒ නිසා අපි රුපියල් මිලියන 500ක් හැම අවුරුද්දම ඒකාබද්ධ අරමුදලට යැව්වා. මොකද රජය තමයි ත්‍රිපෝෂ වැඩසටහනට මුදල් ඔක්කොම වියදම් කළේ.

දැන් ඒ වැඩසටහන පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම නැවතුණා. පසුගිය කාලයේ බොහොම අමාරවෙන් ඒ ආයතනයේ අය රජයත් එක්ක කතා කරලා දැන් ත්‍රිපෝෂ විතරක් හදන්න ආරම්භ කළා. ඒකත් හරි ස්ථාවරභාවයක් නැතිව බොහොම අමාරුවෙන් කරලා තියෙන්නේ. එතකොට පසුගිය කාලයේම ත්‍රිපෝෂ නැහැ.

අපි එදා ත්‍රිපෝෂ වැඩසටහන් සියයට සියයක් කළ නිසා මන්දපෝෂණ තත්ත්වයත් අඩු වුණා.

අපි ඒ වෙලාවේ ජපාන තාක්ෂණය යොදාගෙන ජපානයත් එක්ක කතා කරගෙන ජපානයේ තියෙන නියුටි්‍රජන් කියන බිස්කට් එකක් අපි ආරම්භ කළා. ඒක පෝෂණ බිස්කට් එකක්. ඒකත් එහෙමම වහලා දාලා තියෙනවා. ඒ බිස්කට් එක ගෙනාවානම් දරුවන් බොහොම ආසාවෙන් කනවා.  ඒකේ සියලුම පෝෂ්‍යපදාර්ථ තියෙනවා. ඒක හාල්වලින් හදන්නේ. ඒ නිසා අපට පාන්පිටි ඕන වෙන්නේ නැහැ.  එතකොට ඒවාත් දැන් නවත්වලා තියෙන්නේ.

මේ නිසා පෝෂණය පිළිබඳ අපි හිතනවාටත් වඩා දරුණු තත්ත්වයක් 2021 ආර්ථික අර්බුදයත් එක්ක ඇවිත් තියෙනවා.”

ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළට දායක වන්න සියලු මන්ත්‍රිවරුන්ට ආරාධනා කරනවා : – ඇමැති මහින්ද අමරවීර

“මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාට පක්ෂ භේදයෙන් තොරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගාණේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට භාරදෙන ලෙස ජනාධිපතිතුමා මට පැවරුවා” යැයි කෘෂිකර්ම හා වනජීවී පශු සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

“ඒකෙදී බෙදෙන්න එපා. අපි සූදානම් මේක ආණ්ඩුවේ අයට විතරක් නෙවෙයි විරුද්ධ පක්ෂයේ ඉන්න හැම මන්ත්‍රිවරයකුටම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බැගින් භාර දෙන්න. අන්න එතකොට ඒ වගකීම භාර ගන්න ඔබතුමන්ලාට අපි අමාත්‍යාංශය විධියට සම්පූර්ණ බලය දෙන්නම්.

ඒ ප්‍රදේශයේ තිබෙන වගා නොකරන ඉඩම් අරගෙන වගා කරවන්න. මිලදී ගැනීම් කරන්න. ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපේ ක්ෂේත්‍රවල නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ලවා මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න. සත්ත්ව නිෂ්පාදන පැත්ත ඉස්සරහට ගේන්න. ආහාර නිෂ්පාදනයේ සම්පූර්ණ වගකීම මන්ත්‍රිවරු 225 දෙනාට භාර දෙන්න අපි සූදානම්.

ඒ නිසා මම විපක්ෂ නායකතුමාටත් අනෙක් පක්ෂවල නායකතුමන්ලාටත් ආරාධනා කරනවා මේ අභියෝගාත්මක මොහොතේ මේ රටේ ජනතාව ආහාර හිඟයකට මුහුණදෙන මොහොතේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළට මේ 225 දෙනා එකතු වෙන්න කියලා.

අපි දැනටමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ජාතික මට්ටමේ කමිටුවක් මේ වෙනුවෙන් සකස් වෙනවා ඒ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම පළාත් මට්ටමේ කමිටුවක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්, දිසාපතිතුමා ප්‍රමුඛ ඒ දේශපාලනාධිකාරිය ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කමිටුවක්  එකඟ වන මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කමිටුවක්, ග්‍රාම නිලධාරී මට්ටමෙන් කමිටුවක්.

මේක අලුතින් පිහිටුවන්න ඕන නැහැ. දැනට තියෙන කමිටු තියෙනවා නම් ඒවා තවත් ශක්තිමත් කරගෙන මේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ අපි කරමු. එතකොට  අපිට මාස ගණනක් ඇතුළත මේ රටට අවශ්‍ය සියලු ආහාර දෙන්න පුළුවන්. අපි දැනටමත් ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.”

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි