මිනී පෙට්ටි ගාස්තුව දෙගුණයකින් ඉහළ ගිහින්

0
15

මිනී පෙට්ටි ගාස්තු හා අනෙකුත් සියලු ගාස්තු ඉහළ යෑම හමුවේ මියයන අය වෙනුවෙන් ජීවත්ව සිටින අය අන්ත අසරණභාවයට පත්ව සිටින බවට තොරතුරු අනාවරණය වේ.

එදා අවම ගාස්තුව ලෙසට රුපියල් 30,000 කට තිබූ මිනී පෙට්ටියක වත්මන් මිල රුපියල් හැට දහස ඉක්මවා ඇති බැවින් කිසිදු ආදායමක් නැති අසරණ පවුල්වල උදවියට මේ නිසා මියයන අයකු වෙනුවෙන් මැරි මැරී ජීවත්ව සිටීමට සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

කිසිදු සහනයක් නැති අය ගමේ මරණාධාර සමිති වටා එක් වී ඇතත් මෘතදේහය නිවෙසේ තබාගෙන සිටින දිනවලට හිමි කෑම වේල් සඳහා දෙන මුදලටවත් එකී ආධාරය ප්‍රමාණවත් නොවන නිසා බොහොමයකට මිනී පෙට්ටියට දීමට සිදුවන මුදල අමතරව ගෙවීමට සිදු වී ඇතැයිද ඔවුන් සඳහන්  කරති.

එසේම නිවෙසක මෘත දේහයක් තබාගෙන සිටීමේදී තේ, බුලත්විට හා අමතර කෑම සංග්‍රහ වේල් පවා දීමට සිදුවන නිසා ඒවායේද මිල ගණන්ද ඉහළ ගොස් ඇති බැවින් වියදම අවම කරන්නට මියගිය අයගේ අවසන් කටයුතු නොපමාව කරන්නට බොහෝ පිරිස් කටයුතු කරන අයුරු දක්නට තිබේ. ඇතැම් පෙදෙස්වල මියගිය අයකු උදෙසා බෞද්ධයන් කරන හත් දවසේ හා තුන් මාසයේ දානය කර ගැනීමට පවා නොහැකිව ඇතැමුන් දැඩි අපහසුතාවලට පත්ව සිටින බවත් ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

මිනීපෙට්ටි ගාස්තු ඉහළ යෑම ගැන මල් ශාලා හිමියන් පවසන්නේද මෙවැන්නකි.

“එදා අවම ගාස්තුවට දුන් රුපියල් 30,000ක පෙට්ටිය දැන් ඒ මුදලට දෙන්න බෑ. පෙට්ටිය සරසන මල් නුවරඑළියට ගිහින් ගේන්න ඕනෑ.  අනික මේ පැත්තේ භූමිතෙල් නෑ. ඒ වෙනුවට අපි භාවිත කරන්නේ තිනර්. ඒ වාගේම පොල්පිතිගම මූලික රෝහලේ කළ යුතු මරණ පරීක්ෂණ කුරුණෑගලට යවනවා.

ඒවා ගෙන යන්න හා ආපසු ගේන්න වෙන්නෙත් අපිට. තෙල් අර්බුදය හමුවේ මෙවැනි වටපිටාවක මල්වලින් සරසලා, හොඳ ඇඳුමක් අන්දවලා ගෙදරට මෘතදේහය ගිහින් භාර දෙනවිට පෙට්ටියක අවම ගාස්තුවත් ඉහළ යනවා. එසේ ගණන් ඉහළ ගියත් අපි නැති බැරි අයට සහන දෙනවා. අසරණ වන පවුල්වල අපි අවමඟුල් උත්සවයේ දී මෘතදේහය ගෙන යෑමට අවමගුල් රථය පවා නොමිලේ දෙනවා.”යි පොල්පිතිගම මල් ශාලා හිමියයෝ පැවසූහ.

පොල්පිතිගම – නන්දන කැලේගම