මහ වැස්සට හැටන් තට්ටු 4ක් වැටෙන්න ඔන්න මෙන්න

0
10

හැටන් එම්.ආර්. නගරයේ පිහිටි සිවුමහල් පෞද්ගලික ගොඩනැඟිල්ලක් කඩා වැටීම ආරම්භ වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් පැවැසීය.

පසුගිය මාසයේ හැටන් ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් එම ගොඩනැඟිල්ල කඩාවැටීමේ අවදානමක් මතු වූ අතර එය පරීක්ෂා කළ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය එහි පදිංචිකරුවන් ඉවත් කර තිබිණි.

මේ දිනවල හැටන් නගරයට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානම තවදුරටත් වැඩි වී ඇති අතර ඒ අසලින් වැටී ඇති ගාමිණිපුර ජනපදයේ ප්‍රවේශ මාර්ගයද තාවකාලිකව වසා දැමීමට හැටන් – දික්ඔය නගර සභාව පියවර ගෙන ඇත. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත එම සිවුමහල් ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමට දික්ඔය නගර සභාවට ලිඛිතව දැනුම් දුන් බවද අලහකෝන් මහතා තවදුරටත් පවසා සිටියේය.

මෙම කඩාවැටීම සිදුවෙමින් පවතින ගොඩනැඟිල්ල පිටුපසින් කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක්ද පිහිටා ඇති අතර පවතින වර්ෂාවත් සමඟ එහි ජල ධාරිතාවද ඉහළ යෑම සමඟ එහි අවදානම් තත්ත්වය තවදුරටත් වැඩි වී ඇතැයිද සහකාර අධ්‍යක්ෂවරයා කීය.  

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි, වටවල – සී.ඩී. එම්. හේවගේ