මහපාරට මරු කැඳවීම

0
76

මේ රටේ දූ දරුවන්ගෙන් වසරකට හයසියයක් පමණ හදිසි අනතුරුවලින් මියයන බව කියයි. දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ වසරකට රෝහල්ගත වන බවද වාර්තා වෙයි. දරුවන්ගේ මන්දපෝෂණය ගැන ඛේදනීය පුවත් අහන්නට සිදුව තිබෙන මේ දින කිහිපයේ හද සසල කරවන නෙතගට කඳුළු උනවන පුවතක්ද වාර්තා වෙයි. ඒ කුරුණෑගල මලියදේවයේ 9 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබමින් සිටි සජිත සහන් ගුණරත්න දරුවා පිළිබඳ ඛේදනීය පුවතය.

සහන් ඉකුත් දා පාසල ඇරී මහ වැස්සේ කුඩයද හිසලාගෙන පයින් ගමන් කරමින් සිටියේය. වෙනදා ඔහු කැටුව යන්න මඟට එන ආච්චි අම්මා එදින ටිකක් ප්‍රමාද වූ බව කියයි. අප කතා කරන්නට යන්නේ ඒ ප්‍රමාදය ගැන නොවේ. මහපාරට මරු කැඳවන්නට සැරසී සිටින මේ රටේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ සාපරාධී ප්‍රමාදය ගැනය. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ඇහැරෙන්නේ බරපතළ විපතකින් පසුවය. ඒ විපතක් තමන්ගේ සනුහරේට හෝ තමන්ගේ වැයික්කියට අදාළ නම් ලහි ලහියේම වැඩ පටන් ගැනීම සිදුවෙයි. අඩු තරමින් මෙයින් වසර දෙසිය විසි හයකට පමණ පෙර සුද්දා මේ රටේ මිනිසුන්ට උගන්වා ගිය පාඩමවත් මේ උදවියට සිහිපත් කොට දිය යුතුව තිබේ.

සුද්දා මේ රට යටත් කරගන්නට අරඅඳිමින් කටයුතු කළ මුල්ම අවධියේ මේ රටේ මහපාරවල් ගැන සිතුවේ නැත. ඔවුන්ට පාරවල් ගැන මතක් වුණේ රට මැද්දට ඇවිත් වැඩ පටන්ගෙන මේ පොළොව සරු බිමක් බව අවබෝධ කරගත් පසුවය. ශ්‍රී මත් එඩ්වඩ් බාන්ස් (1824 _ 1831) මේ රටේ ආණ්ඩුකාරයා වී මවු රටට ලියා යැව්වේ අපූරු කතාවකි. “ලංකාවට පළමුවෙන්ම අවශ්‍ය පාරවල්ය. දෙවැනුවද, තෙවැනුවද අවශ්‍ය පාරවල්ය.” සහන්ගේ මරණය යළිත් මේ රටේ බලධරයන්ට බාන්ස්ගේ  ඒ කතාව සිහිපත්කොට දෙයි.

අධිවේග මාර්ග ගැන, ගුවන් පාලම් ගැන, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ගැන පුරසාරම් දෙඩුවාට මේ රටේ මහාමාර්ග අතුරු මාර්ග වැඩි ප්‍රමාණයක් තවමත් අනාරක්ෂිතය. වැසි කාලයට සමහර මාවත් දියඇලි හා සම වෙයි. සමහර  ඒවා ගංගා ඇළ ‍ෙදාළ හා සදිසිය. ඒත් මේ රටේ පාලම් බෝක්කු ටික ගැනවත් හරියට හොයා බලා ඒවා නිසි පරිදි නඩත්තු කරන්නට නිසි වැඩපිළිවෙළක් තවමත් යෝජනා කොට නැත. සකසා නැත.

වර්ෂ 1796 සිට වර්ෂ 1815 දක්වාම ශ්‍රී  ලංකාවේ මාර්ග ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන්ම බලපෑ කාරණය වූයේ දේශපාලනයයි. කරුණු විමසා බලන විට පෙනී යන්නේ අදටත්  එහි වෙනසක් නැති බවය. නගර සභාවල, ප්‍රාදේශීය සභාවල පාලනය තවමත් අඛණ්ඩව සිදුවෙයි.  ඒ වෙනුවෙන් වාර්ෂික අය _ වැය මඟින් මුදල්ද වෙන්වෙයි. එක් එක් සභා සඳහා ප්‍රාදේශීය වශයෙන් ආදායම් ද එකතු වෙයි. මේ හැම දෙයක්ම සිදුවෙමින් තිබියදී මහපාරේ සිදුවන හදිසි අනතුරුවල අඩුවක් නැත.

  විශේෂයෙන් වැසි දිනවලට සිදුවන අනතුරු සම්බන්ධව සොයා, විමසා බලා අවශ්‍ය පිළියම් යොදන්නට ඉදිරිපත් වන අය නැත. පස්සර බස් අනතුරට බලපෑ මහපාරේ මහ කළුගල බලධරයන්ට පෙනුණේ අනතුරෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමිව ගිය පසුවය. මේ රටේ අමන තකතීරු වැඩවල හැටි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර්.යූ.ඩී.කේ. අමරසිංහ සජිත සහන් දරුවාගේ මරණ පරීක්ෂණයෙන් පසුව බලධරයන්ගේ අවධානය යොමු කරවනුයේ මෙවැනි අනතුරු සිදුවන්නේ පටු මාර්ගවල ආරක්ෂාවක් නැතිකම හා පරිසරයට හා මාර්ගයට අවහිර වන අනවසර ඉදිකිරීම් ගැනය. වැසි සහිත දිනවල මහපාරේ වතුර පිරී ගිය විට දෙපස ඇති කානු ගැන හිතන්නට බැරි තත්ත්වයක් මතුවෙයි. ජල ධාරිතාවට ඔරොත්තු නොදෙන ආකාරයේ කානු පද්ධතියක් ඇති විට අනතුරු සිදුවීමේ ප්‍රවණතාව තවත් වැඩිය. මේ සම්බන්ධව කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් නොතිබීම බරපතළ කාරණයකි.

කුරුණෑගල නගරයේ පුරාවිද්‍යා වටිනාකම් ඇති භූමියක් ඩෝසර් කිරීම ගැන පසුගිය කාලයක මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් පැනනැඟුණු අයුරු මේ මොහොතේ සිහිපත් වෙයි. කළ යුතු දේ නොකොට නොකළ යුතු දේ කරන්නට ගොස් ගැටලුවලට මුහුණදෙමින් බලපුළුවන්කාරකම් පෙන්වමින් හිරඅඩස්සියේ වුණත් ලගිින්නට කැමැත්තෙන් සිටින දේශපාලකයන් සිටින රටක, මහපාරේ මරු කපොලු වසා දමන්නට සුදුසු වැඩපිළිවෙළක් යෝජනා කරන බලධරයන් මේ රටේ නොසිටීම මහත් අභාග්‍යයකි.

තවත් කාරණයකි. සුද්දන්ගේ කාලයේ පාරවල් හැදිල්ලට වගේම  ඒවා නඩත්තු කිරීමට ආණ්ඩුවේ වැඩ දෙපාර්තමේන්තුව කියා එකක් තිබිණි. දැන් නම්  එහෙම  එකකුත් නැත. පිරිසක් ඇවිත් පාර හදා නිමකොට ගිය විට තව පිරිසක් ඇවිත් පාර හරහා කානුවක් කපති. තව පිරිසක් පාර දෙපැත්තේ ජල මාර්ග සඳහා විශාල කානු කපති. තව පිරිසක් විදුලිය සඳහා කණු හිටවන්නට වළවල් හාරති. මේ කිසි කටයුත්තක නිසි කළමනාකරණයක් නැත. විධිමත් භාවයක් නැත. කුරුණෑගල සජිත සහන් දරුවාගේ මරණය හා සම්බන්ධ සිදුවීම් පිටුපසද ඇත්තේ බලධරයන්ගේ ඔළමොට්ටළ තකතීරු වැඩය. ඒ අවුල නොවී නම් මේ අකල් මරණය නොසිදුවන්නට හොඳටම ඉඩ තිබිණි.

අනතුර සිදුවුණු මාර්ගයේ කාපට් දමා තිබුණත්, මාර්ගය දෙපස බෝක්කු හා වෙනත් ඉදිකිරීම් කටයුතු නිසි පරිදි අවසන් කොට තිබුණේ නැත. ජලය බැස යෑමට ඇතුළත ඉඩ වපසරිය අඩි දෙකහමාරක තුනක් තරම් උස ප්‍රමාණයකින් යුතුව තිබුණද ඒවා අධික වැසි සහිත දිනවලට ඔරොත්තු නොදෙන බව පෙනෙන්නට තිබිණි. මේ සියලු සාධක කෙසේ වෙතත් සිද්ධිය වූ මොහොතේ දරුවා පසුකරගෙන ගිය වාහනයේ රියැදුරුට පාරේ පැවැති අනතුරු සහිත තත්ත්වය ගැන විමසා බලන්නට හොඳටම ඉඩ තිබිණි. එම වාහනය පාසල්  ශිෂ්‍ය ප්‍රවාහන වෑන් රියක් බව කියයි. වැසි දිනවල පාසල් සිසු දරු දැරියන්ගේ ගමන් බිමන් ගැන පාසල පැත්තෙන්ද යම් විමසා බැලීමක් කළ යුතුව තිබිණි. මේ එකක්වත් ඉටු වී නැත.

අනේ, මගේ සුදු පුතේ, ඊයේ උදේ ගෙදරින් ගියේ අද මෙහෙම එන්නද? මේ සහන්ගේ අම්මාගේ අඳෝනාවට එක්ව තිබුණු එක් ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට සිත් සනහන පිළිතුරක් නම් යළි නොලැබෙනු ඇත. සියලු බලධරයන්ගෙන් අසන්නට අපටද ප්‍රශ්නයක් තිබේ. මහත්වරුනි, ඉදිරියටත් මෙවැනි විපතක් ගැන තොරතුරක් ලැබෙනතුරු තවදුරටත් අත් බැඳ නෙත් වසාගෙන සිටිනවාද?