මන්දපෝෂණ කතාව ගැන සොයන්න විශේෂඥ පිරිසක් ළමා රෝහලට

0
44

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන රෝගී දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණයට ලක්ව සිටිතැයි කියන සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ (07දා) එම රෝහලට යැවීමට කටයුතු කළ  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී  චන්ද්‍රගුප්ත ‘මව්බිම’ට පැවැසීය.

එම රෝහලට ඇතුළු වන රෝගී දරුවන් බහුතරයක් මන්දපෝෂණයට ලක්ව සිටින්නේ යැයි එහි සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු මාධ්‍යවලට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව සොයා බැලීමට මෙම කණ්ඩායම යවන ලද බවද ලේකම්වරයා කීය.

කෙසේ වෙතත් බරපතළ රෝගීන් ද එන රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන රෝගී දරුවන් බොහොමයක් එකී රෝග තත්ත්වයන් නිසා දුර්වල, බර අඩු, කෘශ හා  නිසි පෝෂණයෙන් යුත් අය නොවීමට ඉඩකඩ ඇතැයි ද ඔහු කියා සිටියේය.

මෙම ප්‍රකාශය කර ඇති වෛද්‍යවරයා එක් වාට්ටුවක් භාර වෛද්‍යවරයකු යැයි ද ඔහු පවසන්නේ එම වාට්ටුවේ තත්ත්වය විය හැකි යැයි ද කී චන්ද්‍රගුප්ත මහතා කෙසේ වෙතත් විධීමත් පරීක්ෂණයක් කර ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස එම කණ්ඩායමට උපදෙස් දුන් බවද පැවැසීය.

විනීතා එම්.  ගමගේ