පිස්සු පූසාගේ කොමිසම රටේ නීතිය කණපිට හැරෙව්වා

0
208

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව වංචා හා දූෂණයේ යෙදුණු අයට අනුබල දීමක් යැයි ජාතික ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

එමෙන්ම මෙම කොමිෂන් සභාව වෙනුවෙන් කොපමණ මුදලක් වැය කර තිබෙනවාදැයි හෙළි කරන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්නයක් යොමු කරමින් විමසීය.

2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විශ්‍රාමලත් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2020 ජනවාරි 09 වැනි දින අංක 2157/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කරනු ලැබ තිබුණා. එසේම එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 08 වැනි දින හිටපු ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා.

මෙම කොමිෂන් සභාවට පවරන ලද විෂයපථය සහ එම කොමිසම විසින් අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සාධාරණ නොවන බවටත් එම කොමිසම තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වී ඇති බවටත් සමාජය තුළ බලවත් කතිකාවක් ඇති වුණා. විශේෂයෙන් එම කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබුණා.

නිදසුනක් ලෙස ඇතැම් පැමිණිලිවලට අදාළව එමඟින් නිර්දේශ කර තිබුණේ ඊට අදාළව අධිකරණය හමුවේ පවරා ඇති සහ විභාග වන නඩුකර ඉවත් කර ගැනීමටයි. එසේම තවත් පැමිණිලිවලට අදාළව නීතිය ක්‍රියාත්මක වූවන්ට වන්දි ලබා දීමටත් එයින් යෝජනා කළා. තවත් නිර්දේශයක් මඟින් වංචා,දූෂණ, අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඉදිරිපත් කළ අයට දඬුවම් ලබා දීමටද යෝජනා කර තිබුණා.

මෙම තත්ත්වය තුළ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද යන්නත් මේ සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

දැනට වංචා දූෂණ පිළිබඳ පවරා තිබෙන නඩු ඉල්ලා අස්කර ගැනීමට මෙම කොමිසම නිර්දේශ කරලා. මේ කොමිෂන්  සභාවේ නිර්දේශ කළ චෝදනා ලක්වූ අය නැවත සේවයේ පිහිටු වන්නත් ඔවුන්ට වන්දි මුදලක් දෙන්නටත් කටයුතු කරන්න කියලා  වාර්තාවේ සඳහන්ව තිබුණා. මේක වංචා දූෂණවල යෙදුණු අයට මුළුමනින්ම අනුබලදීමක්. පැමිණිලි කරන අයට චෝදනා කොට නඩු පවරන්න කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධව විත්තිකරුවන් කරා. ඒ වගේම තිබුණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාසයේ හිටපු ඉහළ නිලධාරීන් ඒකට වගඋත්තරකරුවන් කළා. මේ කොමිෂන් සභාවෙන් මටද නඩු  තියෙනවා.

ඒ වගේම මේ කොමිෂන් සභාව වෙනුවෙන්  කොච්චර මුදලක් වැය කර තිබෙනවාද කියලා දැනුම් දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මා ඇතුළු දේශපාලන නායකයන්ට පරීක්ෂණ කිරීමට මේ උපාලි අබේරත්න කොමිසම කටයුතු කළා. මේකට කියන්නේ පිස්සු පූසාගේ කොමිසම කියලා. මේ කොමිසම හරහා වත්මන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහත් එවකට චූදිතයෙක් කරා.  හිටපු ජනාධිපති විසින්  රනිල් වික්‍රමසිංහ චූදිතයෙක් කළා. අධිකරණ ක්ෂේත්‍රය මේකට කියන්නේ පිස්සු පූසගෙ කොමිසම කියලයි. මේ නිසා අපේ රටේ නීතිය කණපිට හැරවීමක් කළා.  බී.එම්.අයි.සී.එච්. හි කාමර දෙකක් වෙන් කරල නිලධාරීන්ට කාර්යාල විදිහට දීලා මේක පවත්වාගෙන ගියේ.

ඒ අනුව දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජය හමුවේ ඇති ගැටලුකාරී තත්ත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනවා.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි