පක්ෂය කුමක් වුවත් අපි එක මවකගේ දරුවන් ලෙස එකතු වී රට ඉදිරියට ගෙන යමු

0
22

“රජය වුවත්, පොහොට්ටුව වුවත්, ජනතා විමුක්ති පෙරමුණ වුවත්, දෙමළ කොංග්‍රසය වුවත්, එක්සත් ජාතික පක්ෂය වුවත්, ස්වාධීන වුවත්, අප එක මවකගේ දරුවන්. අප එකතු වෙමු. එකතු වී මේ රට ඉදිරියට ගෙන යමු. එය කළයුත්තේ මා වෙනුවෙන් නොවේ. රට වෙනුවෙන්. ඒ අප පැවැසූ බලවත් රට ගොඩනැඟීමටයි. බය නැතිව අප මේ ගමන ආරම්භ කරමු. පළමුවැනි අරගලය ඉවර වුණාම රට ගොඩනඟන දෙවැනි අරගලය අප මෙතැනින් ආරම්භ කරනවා. එකතු වී බය නැතිව ශේ‍ර්ෂ්ඨ ශ්‍රී  ලංකාවක් ගොඩනඟමු” යැයි ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සර සැමරුම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (6දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අවස්ථාවේදී හෙතෙම මෙසේ සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණ තිබෙන ඔබ සැමට ස්තුතිය පුද කරනවා. අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි වැඩ කටයුතු කළා.

අද අප අපේ පක්ෂය හැදූ නායකයන් සිහිකරනවා. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රී මත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා. ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතැනට පැමිණ සිටිනවා.

මම අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා. මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හෝ ආණ්ඩුවක් නෑ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා. අද අප විශාල අර්බුදයකට මුහුණදී සිටිනවා. ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණා දැයි කියා මා දන්නේ නෑ. ආර්ථිකය කඩාවැටිලා. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.

අනෙක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් ලෙස තනතුරු දෙන්න මට හැකියාවක් නෑ. ජනතාව පීඩනයෙන් සිටිනවා. සමහර අයට තුන් වේලක් කන්නට බැරි තත්ත්වයක් තිබෙනවා. රැකියා නැති වී තිබෙනවා.

ගිය අවුරුද්දේ අපේ සංවත්සරය පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේ. මෙරට තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරන බව මා එදා පැවැසුවා. ආණ්ඩුව රට රවට්ටන බවත් කිව්වා. පක්ෂය විවේචනයට සීමා වී තිබෙන බවත් පැවැසුවා. ප්‍රතිපත්ති දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. එමෙන්ම නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. අප කිසිවකු එය අනුගමනය කළේ නෑ. අවසානයේ පීඩනය වැඩි වී මෙරට තරුණ තරුණියන් අප්‍රේල් මාසයේ අරගලය ආරම්භ කළා. එය සාමකාමී අරගලයක්. ඔවුන් දක්ෂතා පෙන්නුම් ඉල්ලීම් ඉදිරිපත් කළා. අප ඒ දක්ෂතා අගය කළා. පළමු වරට තරුණ තරුණියන් තුවක්කු බෝම්බ කන්නෙ නැතිව රටේ වෙනසක් අවශ්‍ය  බව ප්‍රකාශ කළා. අමාරුයි. ඒත් එවැනි ව්‍යාපාර හොඳ හිතින් ගෙන යෑම අසීරුයි. ඒක ඇතුළේ ප්‍රචණ්ඩත්වය මුල්කරගෙන පෙරටුගාමී සංවිධානය ඉදිරියට පැමිණියා. පසුව සාමකාමී තරුණයන් පිට වුණා.

ජුනි 9 සහ 13 අතර රටේ පාලනය නතර කර පාර්ලිමේන්තුව අරගන්න කටයුතු කළත් එය අසාර්ථක වූ විට අරගලයත් නැති වුණා. අරගලය නැති වුණාට තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වී නැහැ. මේ බලාපොරොත්තුව ඉදිරියට ගෙන යනවා. මේ කාලසීමාවේදී අප විසි දෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත කර ගන්නවා. අප එතැනින් නතර කරන්නේ නෑ. ව්‍යවස්ථාව තවත් සංශෝධනය කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලය ඉවත් කරන්නට තිබෙනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තවත් කාරණාවක් තිබෙනවා. ව්‍යවස්ථාව අප ඒ අනුව සංශෝධනය කළ යුතුයි.

අප අධීක්ෂණ කොමිටි ආරම්භ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටත් එහි සභාපති ධුර ප්‍රදානය කර තිබෙනවා. මන්ත්‍රිවරුන්ට වගකීම් දෙන්නට තිබෙනවා. පක්ෂ නායකයන් ඒ පිළිබඳ කථානායකවරයා සමඟ සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තුවට මුදල් පාලන බලය ශක්තිමත් කර තිබෙනවා. දැනට කොමිටි තුනක් තිබෙනවා. මීට අමතරව කෝප් කමිටුව, කෝපා කමිටුව මෙන්ම රජයේ මුදල් කමිටුවට අමතරව තවත් කමිටු තුනක් පත් කරනවා. රජයට ආදායම් ලබාගැනීම, බැංකු පිළිබඳ පරීක්ෂා කිරීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ කමිටු පිහිටුවනවා. පාර්ලිමේන්තුවටත් වෙනම අය-වැය කාර්යාලයක් ලබා දෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ එමෙන්ම සත්‍ය කොමිසම පිළිබඳ අලුත් නීතියක් එන්නට බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී – පුරුෂ සමාජභාවයේ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

දේශගුණ විපර්යාස අවම කිරීමේ අලුත් නීතියක් ගෙනෙනවා. යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. සියල්ල ගෙන එන්නේ රට ශක්තිමත් කර අලුත් පාලනයක් ගෙන එන්නයි. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජන සභා යෝජනාවයි. මේ රටේ දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩ කටයුතුවලට සහභාගි වීම සඳහා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභාවක් ඇති කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

මීට පෙර ප්‍රේමදාස ජනාධිපති ග්‍රාමෝදය මණ්ඩල යෝජනා කළා. එමෙන්ම දේශපාලනයෙන් තොරව ජන සභාවක් මාර්ගයෙන් නැවත ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,000න්ම අදහස් ලබාගත හැකි ක්‍රමයක්, ව්‍යවස්ථාව නීති ගැන තමන්ගෙ ගම දියුණු කිරීම ගැන අදහස් ලබා ගැනීමට හැකියාව ඇති ක්‍රමය යෝජනා කර තිබෙනවා. ඊට ආණ්ඩුවේ සහයෝගය ලබාදෙන බව මා පැවැසුවා. කැමැතිනම් ඊට නීතියක් සම්මත කරගත හැකියි.

දේශපාලනය දේශපාලකයාට සීමා කළ යුතු නෑ. අප රටේ ප්‍රධාන වැඩකටයුතු දේශපාලනයෙන් තොරව ජනතාව සමඟ එකතුවී කරමු. අද ක්‍රමවේදය වෙනස් කරන්නයි පවසනවා. ඔබ ස්වල්ප දෙනෙක් එක්ක එකතු වී කතා කරනවාද නැතිනම් ඔබ සියලුමදෙනා එකතු කරගෙන කරනවද. එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව මෙන්ම පක්ෂ නැති අය සියලුමදෙනා එකතු කරගෙන ගම් 14,000ම එකතු කරගෙන අප ඉදිරියට යමු.

මෙවැනි තවත් යෝජනා ගණනාවක් තිබෙනවා. එමෙන්ම අපේ ආර්ථිකය ගැන සිතිය යුතුව තිබෙනවා. විදුලි බලය නැතිව අමාරු කාලයක අප සිටිනවා. තවමත් අප එයින් ගොඩට පැමිණ නෑ. මට ඉන්ධන, පොහොර සොයා දීමට හැකියාවක් තිබෙනවා. සීමා සහිතව හෝ ආර්ථිකය ගෙන යෑමට අවස්ථාවක් සැලසිය හැකියි.

ඊළඟ පියවර ලෙස මූල්‍ය අරමුදලෙන් ණය ගෙන තිබෙනවා. ණය ලබාදුන් රටවලින් සහන ගන්නට තිබෙනවා. මේ සියල්ල කරන අතර ආහාර සුරක්ෂිත වැඩසටහන අනුව අප ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,000ක් එම වගා ව්‍යාපාරය සඳහා ගෙන යනවා. එහෙයින් එන ආහාර හැමදෙනාටම ලබාදිය යුතුයි. කොළඹ වැනි නගරවලත්  ආහාර වගා කිරීමේ සටන ආරම්භව තිබෙනවා.

මෙවර මහ කන්නයට පොහොර මෙන්ම ඉන්ධන ලබා දෙනවා. බීජ ලබා දෙනවා. කරුණාකර විශාලතම අස්වැන්න ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සියලුදෙනා එකතු වී මේ කටයුතු කරමු.

මේ රටට සංචාරකයන් ගේන්න අප සියලු දෙනා එකතු වෙමු. ආර්ථිකය ස්ථාවර බව ඇති කර ගන්නවා සේම අපට හැමදාම හිඟා කන්නට බෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කිසිවෙකුත් බංකොලොත් වෙනවට අප කැමැති නෑ. අපේ මවුපියන් අපට පුහුණු කර තිබෙන්නේ ණය ගත්තොත් ණය ආපහු ගෙවන්නයි. අප බය නැතිව ගිහින් මේ ණය ගෙවා දමමු. මින් පසුව ණය නොවෙන ආර්ථිකයක් ඇති කරමු. බුදුන් වහන්සේ දේශනා කළේ එයයි. ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කළේ එයයි. ණය නැතිව අප ලොව තරගකාරි ආර්ථිකයක් හදමු.

අප අපේ අපනයන වර්ධනය කරගනිමු. මැදපෙරදිග ගිහින් ගෙවල්වල, නිවාසවල වැඩ කරනවා වෙනුවට වෙනත් මාර්ග සොයා ගනිමු. අපි පොහොසත් වෙමු. මේ රටට පොහොසත් වෙන්නට බැරි ඇයි. ඒ සඳහා සම්පත් තිබෙනවා. අප ඉදිරියට යමු. අපේ අලුත් ආර්ථිකය හදමු. මෙයට හරස් වෙන්න කිසිවකුට දෙන්නේ නෑ. අපට බැරි ඇයි ලෝක වෙළෙඳපොළ අල්ලගන්න. ජපානයට පුළුවන් වුණා නම්, කොරියාවට පුළුවන් වුණානම්, වතුර නැති සිංගප්පූරුවට පුළුවන් වුණානම්, වැලි තිබෙන ඩුබායි රටට පුළුවන් වෙනවා නම් අපට බැරි ඇයි?

මෙතැන් සිට ඉදිරියට යන වැඩ කරන්නට පටන් ගනිමු. 2048 වසර වන විට අප බලවත් ධනවත් රටක් හදමු. එහි අවසානය බලන්න මා ඉන්නේ නෑ. මට අවශ්‍ය ඒ වෙනකොට තරුණ තරුණියන්ට හොඳට ජීවත් විය හැකි අනාගතයක් නිර්මාණය කර දීමයි. අප වසර විසි ගණනක් අපේ ප්‍රතිපත්ති යකඩ රාමුවක් වගේ තබමු. වසර පහෙන් පහට අපේ ආර්ථිකය ගොඩනඟමු. සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අප එකතු විය යුතුව තිබෙනවා.

සේනානායක මහතා කීවේ රට එක්ව ගොඩනැඟීමේ සංකල්පයයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා ශ්‍රී  ලාංකික අනන්‍යතාව පිළිගන්නා ලෙස එතුමා පැවැසුවා. අප සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වුවත් මෙය මවු රට ලෙස සිතමු යැයි එතුමා පැවැසුවා. මාත් ඒ කාරණය අද මතක් කරනවා.”

එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

වසර 28කට පසු අපේම ජනාධිපතිවරයෙක් සමඟ එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සැමරීම පිළිබඳව  ආඩම්බරයට පත් වෙනවා. ඉතිහාසයේ සිය පක්ෂයට නායකත්වය ලබා දුන් සියලු නායකයන් මෙහිදී සිහි කරනවා. අපේ ජීවය වන්නේ පාක්ෂිකයන්. පක්ෂය වෙනුවෙන් ජීවිත කැප කළ සියලු පාක්ෂිකයන් මෙහිදී සිහිපත් කළ යුතුයි. එමෙන්ම පක්ෂය වැටී තිබූ අවස්ථාවේ පක්ෂය අතහැර නොගිය ඔබ සැමට ස්තුතිය පළ කරනවා. අපේ නායකයන් මේ පක්ෂය ගොඩනැඟුවේ අපේ රට ලෝකයට හ¾දුන්වා දීමටයි. අපේ පැරැණි සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන  අපේ නායකයන් විසින් රට ලෝකයට විවෘත කළා.

අප කිසිවිටෙක ජාතිවාදයට හෝ ආගම්වාදයට නතු වුණේ නෑ. අප කිසිවිටෙක අන්තවාදයට හිස නැමුවේ නෑ. පක්ෂ, පාට, ජාති, ආගම් වාදයෙන් තොරව සියලු දෙනාට එක සෙවනක හිට ගැනීමට අවස්ථාවක් හදන බව පක්ෂය ඒ කරන අවස්ථාවේදී ඩී.එස්. සේනානායක මැතිතුමා පැවැසුවා. රනිල් වික්‍රමසිංහ මහතාද දිවුරුම් දෙන අවස්ථාවේදී  පැවැසූයේ, තමාට ජනපති කොඩියක් අවශ්‍ය නැති බවත් ජාතික කොඩිය සෙවණේ සියලු දෙනා සිටිය යුතු බවත් ය.

අෑත්වූ පාක්ෂිකයන්ට මෙන්ම මන්ත්‍රිවරුන්ට මා විවෘත ආරාධනයක් කරනවා. යළිත් අප සමඟ එකතුවන්න. රට ගොඩනඟන්නට හැකියාව ලැබෙන්නේ එසේ කළහොත් පමණයි.

විවිධ නායකයන් අභියෝගය හැර යන විට රට ගැන සිතා අභියෝගය භාරගත්තේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද රෝහල්වල ඔෟෂධ තිබෙනවා. ඉන්ධන පෝලිම් අවම වී තිබෙනවා. ගෑස් පෝලිම් නෑ. ගොවීන්ට පොහොර තිබෙනවා.

දේශපාලන  පාලන අරමුණු පසෙක තබා රට වෙනුවෙන් වැඩ කළ යුතු සමයක් එළඹ තිබෙනවා. අරගලයේ අරමුණු ඉටු කිරීමට නම් අප සියලු දෙනා එකතු විය යුතුව තිබෙනවා. බලගතු ශ්‍රී  ලංකාවක් ගොඩනැඟීම සඳහා අප සැමගේ දායකත්වය ජනපතිට ලබාදෙමු.”

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන

“අද දවස රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට සන්ධිස්ථානයක් වන දිනයක් බව කිව යුතුයි. රටට නිදහස ලබා ගැනීම සඳහා ලංකා ජාතික ව්‍යාපාරයෙන් ඇරැඹුණු ව්‍යාපාරය පසුව එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වුණා. සියලු ජාතීන් එකතුවී එක්සත් ජාතික පක්ෂය ගොඩනැඟුවා.

නිදහස් සටන ජය ගත්තෙත් එකමුතුකම නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැමවිටම ප්‍රකාශ කරන්නේ එකමුතුකමින් සියල්ල ජයගත හැකි බවයි. අරගලයෙන් මතුවුණු හොඳ දේවල් ජනපති නිතර සිහි කරනවා. ඒත් එවැනි  අරගලය නීති විරෝධී තැනකට ගමන් කළා. එය වැරදි ක්‍රියාවක්.

එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා අලුත් ගමනකට සැරසිය යුතුයි. ගමේ, නගරයේ කිසිවකුත් භේද කරන්නෙපා. සමඟිය ඉතා වැදගත්. එකමුතුකම තිබුණොත් ආසියාවේ මෙන්ම ලෝකයේම ශ්‍රී  ලංකාව ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන්. ඊට  ශක්තිය ඇති එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපතිවරයා තනිනොකර ඉදිරියට යන්නට පසුබිම හැදූ පිරිස අද මේ ශාලාවේ රැස්ව සිටිනවා.

පොදු අනතුරකදී අප වඩාත් සමඟි විය යුතුයි. ඒ මඟින් අනතුර වළක්වා ගත හැකියි. හානිය අවම කර ගත හැකියි. එසේ නැතිව තනි තනිව මුහුණ දෙන අය අනතුරට ලක් වනු ඇත.”

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

“එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සඳහා සෙසු පක්ෂ නියෝජනය කරමින් පැමිණි නායකයන්ද, පක්ෂ නායකයන්ද, ජනතාවද ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ ආරාධනය පිළිගෙන මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටිනවා.

1946 වසරේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණා. වසර 400ක කාලයක් ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසීන්ට මෙරට යටත් වී තිබුණා. ඔවුන්ගෙන් රට මුදා ගත හැකි එකම නායකත්වය ඩී.එස්. සේනානායක මහතා බව සියලුම රට වැසියන් එදා පිළිගත්තා. අනෙක් සියලු දෙනාගේ සහයෝගය ඇතිව රට මුදා ගැනීමට ඩී.එස්. සේනානායක මහතාට හැකියාව ලැබුණා.

එක ආසනයකින් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු බහුතරයකගේ ආශීර්වාද මැද අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරයට පත්වූ නිහඬ අරගලකරුවා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. වසර ගණනාවක් රට පාලනය කළත් රනිල් වික්‍රමසිංහ මහතාට සුක්කානම ලැබුණේ නෑ. ඔබතුමා අෑත දකින නායකයෙක් බව අප සියලු දෙනා දන්නවා. රටේ ආර්ථිකය ගොඩනඟන්න ඒ වගේම තරුණ පරපුර ශක්තිමත් කිරීමට ඔබට දැනුම තිබෙනවා. දැන් ඔබ අතට සුක්කානම පැමිණ තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිත් සුවපත් කිරීමේ අරගලයද අප කළ යුතුව තිබෙනවා. ඒ අරගලයද අප ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය යනු ශක්තිමත්ව රට ගොඩනැඟූ පක්ෂයක් මිස රට දුර්වල කළ පක්ෂයක් නොවේ. එක්සත් ජාතික පක්ෂය හැමවිටම පරාජයට පත්වුණේ වඳ කොත්තු වැනි බොරු ප්‍රචාර නිසයි.

එක්ව ගොඩනඟමු යන තේමාවෙන් රට ගොඩනඟන්නට අප සියලු දෙනා එකතු වෙමු. එදා ඩී.එස්. සේනානායක මහතාට රට ගොඩනඟන්නට ශක්තිය දුන්නා සේ අද රනිල් වික්‍රමසිංහ මහතාටත් සියලු දෙනා එකතු වී රට ගොඩනඟන්නට ශක්තිය දෙමු.”

එජාප උපනායක අකිල විරාජ් කාරියවසම්

“එක්සත් ජාතික පක්ෂය හැමවිටම අතීතයේ සිට අර්බුදවලට මුහුණ දීමට සමත් වුණා. නිදහසින් පසු මෙරට ආර්ථිකය දියුණු කළේ එක්සත් ජාතික පක්ෂයයි. 1977 වසරේදී පැය විසිහතරෙන් පෝලිම්  දුරු කරන්නට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ හැමවිටම ජීවන වියදම අඩු කරන්නට කටයුතු කළා.

අප එදා පරිගණක දෙන විට අනාගතයේ නොදකින නායකයන් එය විවේචනය කළා. ඒත් කොරෝනා වසංගතය පැමිණි විට අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළානම් කොපමණ හොඳ දැයි මුළු රටම තේරුම් ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදීන්ද දිනා ගනිමින් සියලු දෙනා එකතුකර ගමනක් යෑම ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පක්ෂ නායකයාගේ දර්ශනය සියලුම දෙනා පිළිගෙන තිබෙනවා.”

සඳුනි ගමාරච්චි