ඩීසල් හිඟයෙන් නොච්චියාගම අස්වනු නෙළීම ඇනහිටලා

0
6

දින කිහිපයක් තිස්සේ පිරවුම්හල් වෙත ඩීසල් නොලැබීමෙන් තම වී අස්වනු නෙළීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි නොච්චියාගම ප්‍රදේශයේ ගොවීහු පවසති. මේ වන විට මහවැලි එච්. කලාපයට අයත් කුඹුරුවලද අස්වනු නෙළීම ආරම්භ වී ඇත.

ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගොවිජන කේන්ද්‍ර එක්ව වැඩසටහනක් සකස් කර පසුගිය සතියෙහි දින කිහිපයක් ඉන්ධන ලබා දුනි. එසේ වුවත් දින කිහිපයක සිට නොච්චියාගම පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් නොලැබී තිබූ නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උදා වී ඇතැයි ඔවුහු කියති.

මෙලෙස අස්වනු නෙළීම ප්‍රමාද වීමෙන් ගොයම් කරල් වියළී යෑම නිසා විශාල වශයෙන් අස්වනු හානි වන බවද ඔවුහු කියති. නිසිලෙස පොහොර නොලැබීම හේතුවෙන් නිසි ඵලදාවක් ලැබී නොමැති වී වගාවේ මෙලෙස සිදුවන අස්වනු හානියත් සමඟම තමන් හට ගොවිතැන සඳහා වියදම් වූ මුදල්වත් පියවාගත නොහැකිව ඇතැයිද ගොවීහු කියති.

මේ සම්බන්ධව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ  පිරවුම්හල් වෙත අවශ්‍ය තරම් ඩීසල් නොලැබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

නොච්චියාගම _ ඒ. ඩී.යූ. කුමාර