ඛනිජ තෙල් සංශෝධන පනතට එරෙහිව පෙත්සමක්

0
11

ඉකුත් 31 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකගත කරනු ලැබූ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධිත පනත් කෙටුම්පත ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ඒ ආකාරයෙන්ම සම්මත කිරීම වළක්වාලමින් ශේ‍ර්ෂ්ඨාධිකරණ මත ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශේ‍ර්ෂ්ඨාධිකරණයට විශේෂ විමර්ශන නිගමන පෙත්සමක් (Special Determination Petition) ඉදිරිපත් කොට ඇත.

එය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත ශ්‍රී  ලංකා නිදහස් සේවක සංගමය විසිනි.

රජය වෙනුවෙන් නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් එම පෙත්සම ගොනුකොට ඇත.

ඉකුත් අගෝස්තු මස 12 වැනි දින රජයේ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කොට ඇති ඉහත සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පනතක් ලෙස සම්මත කරගැනීම සඳහා ඉකුත් 31 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකගත කොට ඇති බව පවසන පෙත්සම්කාර සේවක සංගමය එය ඒ ආකාරයෙන් සම්මත කරගතහොත් මේ රට තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ව්‍යාපාරයටත්, ඛනිජ තෙල් නිෂ්පාදන ක්‍රියාවලියටත් බරපතළ වූත් පිරිමැසිය නොහැකිවූත් හානියක් හා පාඩුවක් සිදුවන බැව් කියා සිටී.

තවද  එකී යෝජිත සංශෝධන පනත් කෙටුම්පතේ 02 හා 03 වගන්තීන් මඟින් ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) බලතල, වගකීම් හා සියලු ක්‍රියාකාරකම් යටපත් කිරීමක් සිදුවන අතර, එමඟින් රටේ මහජනතාවගේ යහපත සඳහා පිහිටුවා ඇති එම නීත්‍යනුකූල රාජ්‍ය ආයතනයේ සේවය ලබන සමස්ත මහජනතාවගේ අයිතිවාසිකමද උල්ලංඝනය වන බවද කියා සිටී.  යෝජිත පනත මඟින් එකී ක්ෂේත්‍රයට අදාළ බලපත්‍ර නිකුත් කිරීම හා ක්ෂේත්‍රය තුළ සිදුකෙරෙන ක්‍රියාකාරකම් කළමනාකරණය හා හැසිරවීම සහ සියලු බලතල උක්ත කොමිසමෙන් ඉවත් කිරීම සඳහා අසීමිත වූ අභිමතානුසාරී බලයක් විෂයභාර අමාත්‍යවරයාට හිමිවන බවද පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ඕනෑම පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ දේශීය නොවන විදේශීය බලාධිකාරියකට යන කුමන් හෝ පාර්ශ්වයකට ඛනිජ තෙල් නිෂ්පාදනය බෙදාහැරීම හා අලෙවි කිරීම යන සියලු ක්‍රියාකාරකම් සඳහා බලය පවරාදීමටද ඇමැතිවරයාට අභිමතානුසාරි බලයක් ආරෝපණය වන බවද පෙත්සම මඟින් ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම පනත සම්මත වී එය රටේ බලාත්මක නීතියක් බවට පත් වුවහොත් රාජ්‍ය ආයතනයන් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සීමාසහිත ලංකා ස්ටෝරේජ් ටර්මිනල් යන ආයතනවලට හා එහි සේවක කාරකාදීන්ටත් එමඟින් පවත්වාගෙන යන අනුබද්ධිත ආයතනවලටත් ඒවායෙහි සේවක කාරකාදීන්ටත් තමන් කැමැති සාධාරණ වෘත්තියක යෙදීමේ මූලික අයිතිවාසිකම පවා අහිමිවන බවද පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කමල් මහේන්ද්‍ර වීරරත්න