කැනඩාවේ රස්සා දෙනවා කියූ කාන්තාවක් කෝටි 10ක් වංචා කර රටින් පැන ගිහින්

0
19

කැනඩාවේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 10ට ආසන්න මුදලක් වංචා කර රටින් පලාගිය බව කියන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සීදුව ප්‍රදේශයේ පදිංචි ෂෙයිනි ත්‍රික්ෂිලා හෙට්ටිආරච්චි නමැති මෙම සැකකාර කාන්තාව “ඇලෝරා මයිගේ‍ර්ෂන්” නමැති විදේශ කටයුතු නියෝජිත ආයතනයක් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යමින් මෙම වංචාව කර ඇත. අදාළ පැමිණිලිකරුවන් විදේශගත වීම සඳහා මීට මාස 8කට පමණ ඉහතදී සැකකාර කාන්තාවට රුපියල් දස ලක්ෂය, නව ලක්ෂය වශයෙන් විවිධාකාරයෙන් මුදල් ගෙවා ඇති බවද එහෙත් ඇය අදාළ පුද්ගලයන් විදේශ ගත නොකර මුදල් වංචා කර ඩුබායි වෙත පලාගොස් ඇති බවද අනාවරණය වෙයි.

රටින් පලාගොස් සිටින බව කියන සැකකාර කාන්තාව “උඹලයි මගේ ළඟට ඇවිත් සල්ලි දුන්නේ. මම උඹල ළඟට ගිහින් සල්ලි ගත්තේ නැහැනේ” යනුවෙන් පවසා පැමිණිලිකරුවන් කිහිපදෙනකු වෙත හඬ පට පණිවුඩ යොමුකර ඇති බවද දැන ගැනීමට තිබේ.

සැකකාර කාන්තාවගේ වංචාවට හසුවූ පුද්ගලයන් 50ක් පමණ පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදේශ රැකියා අමාත්‍යාංශ විශේෂ විමර්ශන අංශයට. මීගමුව හා සීදුව පොලිසිය වෙතද පැමිණිලි කර ඇති අතර ඔවුන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබේ.

කුමුදු උපුල් ශාන්ත