කහටගස්දිගිලිය වගා ළිඳේ මරණය ඝාතනයක්

0
14

කහටගස්දිගිලිය, දිවුල්වැව, කුඩාපට්ටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි අනාරක්ෂිත වගා ළිඳක වැටී මියගොස් පාවෙමින් තිබූ පුද්ගලයා කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩයමක් විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බව එම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර

ශික්ෂණ රෝහලේදී පෙරේදා (06දා) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දිවුල්වැව ව්‍යාපාරයේ පහළකුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රමගේ අමිල ප්‍රියන්ත නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකි.

ඉකුත් 03 වැනිදා රාත්‍රියේ දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි සමිති ශාලාවක පැවැති සල්පිල් වෙන්දේසියකට සහභාගි වී ඇති ඔහු පසු දින නිවෙසට නොපැමිණීම නිසා ඔහුගේ ඥාතීන් විසින් ඒ බව ඉකුත්  04 වැනිදා කහටගස්දිගිලිය පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අනාරක්ෂිත වගා ළිඳේ තිබී ඔහුගේ මළසිරුර සොයා ගත්තේය.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා ඝාතනය කොට ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් කළ පරීක්ෂණයේදී නිගමනය කොට ඇති බවද පොලිසිය පැවැසීය.

මේ අනුව එම පුද්ගලයා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අනුරාධපුර – පර්සි කුරුනේරු