උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා

0
164

“ඒ දවස්වල දර්ශන මේදිස් විකොසෙ. අපිට පෙසපෙ කලා උළෙලකට මේ කවි ටික ගන්න ඕනෙ වෙලා අවසර ගන්න ගියා. හැබැයි දර්ශනගෙ අදහස වුණේ පෙසපෙ වගේ සුළු ධනේශ්වර පක්ෂයක් එයාගෙ කවි පන්තිය දේශපාලන ප්‍රචාරයන්ට භාවිත නොකළ යුතුයි කියලා. දර්ශන ඒ වෙලාවෙ තහනම දැම්මෙ අපේ වැඩේට වුණත්, සුළු ධනේශ්වර කියලා කොන් කළේ අපේ පක්ෂෙ වුණත් අපිට මෑන්ගෙ ස්ථාවරය ගැන මාර රෙස්පෙක්ට් එකක් ඇති වුණේ. ඒක තමයි නේද නිර්මාණකරුවෙකුට තියෙන්න ඕනෙ අභිමානය.”

මෙහෙම කීවේ විමල් කැටපේආරච්චිය. ඔහු කීවේ දර්ශන මේදිස් කවියාගේ කඳුළු මිටියාවත කෘතියේ ඇතුළත් – උතුරින් දකුණට – පද්‍ය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති කවියක් ගැනය. දිවයින පුවත්පතේ කවි පිටුවේ පළවුණු එම කවිය ලියා තිබුණේ  “උතුරින් දකුණට” යන මාතෘකාව යටතේය. “පීඩිත ජාතියෙ පීඩිතයන් ගෙන් පීඩක ජාතියෙ පීඩිතයන් වෙත” යනුවෙන්  ප්‍රබල දේශපාලනික අර්ථයක් සහිත උප මාතෘකාවක්ද එක්කය.

එම සම්පූර්ණ පද්‍යය මෙහෙම ය.

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැඟෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුළා තබන

මුරුගසන් වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

චණ්ඩ පවනක් නොවෙමු

දෙරණ අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත-කොස්-නැඳුන් වෙමු

උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු

පැරණි ගෙට සෙවිලි වන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත් ගෙපැලක් බඳින  

දර්ශන මේදිස් තියා හරිහැටි ගුණදාස කපුගේ කියන්නේ කවුද කියලවත් නොදන්න හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය දවසේ මේ ගීතය අනුභව කළේය.

ඔහු කීවේ “සබඳ අපි කුදු නොවෙමු” කියාය. දර්ශනගේ කවිය කපුගේ ගැයුවේ මෙහෙමය.

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැඟෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු

වනය අවුළා තබන

සිහිල දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

නැවත කියමි, හරින් අනුභව කළේ ඒ අපූරු ගීතය.

දැන් හරින්ගේ වයස හතළිහ පැනලාය. හතළිහ පැන්න හරින් ඔප්පු කරමින් සිටින්නේ එක්කෝ තමන්ට හතළිස් ඇඳිරිය ලබා ඇති බවය. එක්කෝ ඔහු ඔප්පු කරන්නේ තමන්ද රනිල් වික්‍රමසිංහ වගේම කතා මැදට කවියක් දමා වැඩේ ගොඩදාගන්නට පුළුවන්නම් එකෙක් කියලාය.

“වැල් පාලමේ” කතාව කියා රනිල් ලකුණුදා ගනිද්දීත්,” ආජු තපර කියා” විශේෂ ප්‍රකාශය හැඩ කරගනිද්දීත් හරින්ට හිතෙන්නට ඇත්තෙ තමන්ටද ඕක මහ කජ්ජක් නෙවේ කියලාය.

අනිත්තෙක එජාපය හැරදමා සජබට ගොස් ආපහු ආව හරින්ට එජාප සංවත්සරයේදී පොරක් වෙන්නට ඕන විය.

එජාපය කියන්නේ ඇමීබා වර්ගයේ පක්ෂයකි. එයද ශ්‍රීලනිපය මෙනි.

එජාපයේ සිටි ජනකාන්ත චරිත එහි නැත.

අන්තිමට ජනතාව අතරින් ආ  සජිත් වෙනම බලවේගයක් හදා රනිල්ගෙ සිහින මාලිගාව කුඩු කළේය. ඒ විතරක් නෙවේ මැතිවරණයේදී එජාපය නන්නත්තාර කරන්නට පාක්ෂිකයන් කටයුතු කළහ.

ජේ.ආර්., රනිල් නමැති බෑනා නායකයා කරන්න හැදුවේ හයෙන් පහක් ගත් පක්ෂයේය. එහෙත් රනිල්ට රුවන් නමැති බෑනාව නායකයා කරන්න වෙලා තියෙන්නේ එක ආසනයකටත් රණ්ඩු වෙන පක්ෂයකය.

එජාපය රනිල් භාර ගත්තාට පසු පක්ෂය හැරගිය ජනතා නායකයන්, වියතුන් අප්‍රමාණය.

මුල් වටයේදී සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ඇතුළු පිරිසක් පක්ෂය හැර ගියේය. ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැපවූ පතාක එජාප නායකයන් සිය ගණනක් පක්ෂය හැර ගියේ රනිල්ගේ පක්ෂය රැකීමේ තරම නිසාය. එච්.එම් මොහොමඩ්, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, ධර්මදාස බණ්ඩා, ඔලිත ප්‍රේමරත්න, කෙහෙලිය රඹුක්වැල්ල, තිස්ස අත්තනායක, පී. දයාරත්න, රුක්මන් සේනානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, රෝහිත බෝගොල්ලාගම, අර්ල් ගුණසේකර, මහින්ද සමරසිංහ, මොහාන් ග්‍රේරො, නියෝමාල් පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, කරු ජයසූරිය, විජමු ලොකුබණ්ඩාර, හැරල්ඩ් හේරත් ඇතුළු අදහාගන්නට බැරි තරමේ දිග ලැයිස්තුවක් එජාපය හැරගොස් තිබේ.

එපමණක් නොව එජාපය දිනවන්නට ආ දෙදෙනෙක් හැර සෙසු සියලුදෙනා රනිල් අතැර ගොස් තිබේ.

අන්තිමට රනිල්ට කිසිවෙක් ඉතුරු නොවුණේය. ඔහු පහුගිය මතිවරණයට පැමිණියේ හැමෝම ඔහුට සිනාසෙද්දීය.

දැන් රනිල් ක්‍රමානුකූලව රුවන්ලා පෙරට ගනිමින් සිටී.

 පාස්කු ප්‍රහාරය වෙනකොට වගකීම අත්හැරිය වගකිවයුතු තිදෙනෙක් සිටියහ. එක්කෙනෙක් රටේ නායකයාය. අනෙකා ආණ්ඩුවේ නායකයාය. අනෙකා ආරක්ෂක රාජ්‍ය ඇමැතිය. ඒ රුවන්ය.

එහෙව් රුවන් මේ බිමට සමතලා වෙච්ච පක්ෂය ගොඩ ගන්නවා නම් ඒක ප්‍රාතිහාර්යයක්ය. ඒ වැඩේට අත්වැල් ගායනා ගයන්න ආවේ හරින්ලා වැනි ලංසි පැපොල් වර්ගයේ චරිතය. දැන් සියල්ලට වඩා එජාපය Uncle Nephew Party බව ඔප්පු වී තිබේ. හරින් වැනි සබන් බෝල සූදානම් වන්නේ එහෙව් එජාපය උස්සන්නය.

ඒ නිසා 76 සංවත්සරය ගොඩ දාන්නත් ගැලරිය චූන් කරන්නත් හරින්ට වුවමනා විය.

එහෙම හිතූ හරින් තමන්ගේ කතාව ලියන පුද්ගලයාට කියා “වැඩේට සෙට් වෙන කෑල්ලක්” ලියවා ගන්නට ඇත. සමහරවිට ඒ ලියූ පුද්ගලයා හරියට ලියන්නට ඇත. මෙහෙම ගීතයක් ගැන මෙලෝ දෙයක් නොදන්නා හරින්ට එහි ඇත්තේ “කඳුද” කුදුද, කුඩුද කියා වගක් නැත. ඔහුට කුදු නම් හොඳය. කුඩු නම් ඒත් හොඳය. වරක් නොව තෙවරක්ම ඔහු ගීතය වමාරා කෑවේය. අඩු තරමේ දෙවැනි වතාවේවත් හරියට කියන්නට තිබිණි. ඒක එහෙම නොවීය.

වතාවක් සාහිත්‍ය සම්මන්ත්‍රණයක ප්‍රධාන කථිකයා වුණේ විමල් වීරවංශය. ඔහුගේ කතාවේදී විමල් The old man and the sea කියන පොත ගැන සඳහන් කළේය. ඒක ලියන්නේ  අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයාය. ඔය පොත පස්සේ සිංහලයට පරිවර්තනය කරන්නේ සිරිල් සී. පෙරේරාය. ඒ “මහල්ලා සහ මුහුද” නමින්ය. නමුත් විමල් එයාගේ කතාවෙදී කියන්නේ “මහල්ලා සහ මුහුද” පොත ලිව්වේ  ගී ද මෝපසාං කියලාය. එය බරපතළ වරදකි. එහෙත් ඒ වරදට එහා ඒ කතාව තුළ අන්තර්ගතය වශයෙන් විශාල බරක් තිබිණි. සාමාන්‍යයෙන් නමක් එහෙම එහි වන්නට පුළුවන. එය වරදකි. එහෙත් එසේ වන්නට බැරිකමක් නැත.

නමුත් හරින් කළේ දැන දැන වැරැද්දීමය. කෙටියෙන් කිව්වොත් මෝඩකමට වැරද්දීමය.

පාර්ලිමේන්තුව තුළ කතාවක් පවත්වමින් හිටපු රවි කරුණානායක එවකට රජයේ යුද වැඩපිළිවෙළ විවේචනය කරමින්  “අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා” කියලා යම් උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේය.

ඒකාබද්ධ විපක්ෂය මඟින් සංවිධානය කරනු ලැබූ පාද යාත්‍රාව සඳහා කෝටි දෙකක් ඉක්ම වූ ජනකායක් සහභාගි වූ බව ගීතා කුමාරසිංහ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමින් පවසා සිටියාය. නමුත් ගැටලුව වූයේ ලංකාවේ මුළු ජනගහනය කෝටි දෙකයි තුන් ලක්ෂ පනස් නම දහසක් පමණක් වීමය. පසුව ඇය ප්‍රකාශ කළේ තමන්ට චෙක් ලිවීමේ පුරුද්දට මිලියන සහ කෝටි පැටලුණු බවය.

හැබැයි හරින් කොළයක් බලාගෙනම අමූලික බොරුවක් උජාරුවෙන් කීවේය.

හරින් සජිත්ලාට කියන්නේ ආසයි බයයි කියලාය. හැබැයි හරින් කපුගේට කළ වින්නැහිය අහන්න ලැජ්ජා බයය.

වරක් පාසලක උත්සවයක් පැවැත්විණි. එම උත්සවයට එක්තරා ඇමැතිවරයෙක් සහභාගි විය. එතරම් විශාල අධ්‍යාපන සුදුසුකමක් නැති අමාත්‍යවරයාට තමන් බොහෝ දේ දන්නා අයකු යැයි ඔප්පු කිරීමට වුවමනා විය. ඔහු සිය කතාව ආරම්භ කළේ අධ්‍යාපනයේ අගයෙන්ය. අධ්‍යාපනයේ අගය ගැන ලියවුණු කවියක් ඔහුගේ සාක්කුවේ විය. මුලින් දීර්ඝ විස්තරයක් කළ ඔහු සාක්කුවට අත දමන ගමන් කවියේ මුල් පදය මතකයෙන් කීවේය.

ඔහුට දෙලොව රත් වුණේ ඉන් අනතුරුවය. කවිය ලියූ කොළය සාක්කුවේ නොතිබිණි. ඔහු නැවත වරක් ඊළඟ පදය මතක් වේ යැයි සිතා පළමු පේළිය කීවේය.

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”

අවාසනාවක මහත! ඔහුට ඊළඟ පදය මතක් වුණේම නැත.

ඔහු වට පිට බැලුවේය. වටපිටේ සිටි කිසිවකුගෙන් ඔහුට උදව්වක් ද නැත. දහස් ගණනක් දරුවන්ද මවුපියන්ද ඔහු දෙස බලා සිටී.

නැවතත් ඔහු මුල් පදය කීවේය.

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”

ඕන දෙයක් වෙද්දෙන් කියා සිතූ ඔහු ඊළඟ පදය මෙහෙම අවසන් කළේය.

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා”

මුළු සභාවම හූවෙන්, උපහාසය සහිත සිනහවෙන් පිරී ගියේය.

එදා ඇමැතිවරයාට කවිය කියාගන්න බැරි වුණේ ලියාදුන් කොළේ නැතිවුණ නිසාය. මෙදා අවාසනාවකට හරින්ට වුණේ ලියල දුන්න එකවත් කියාගන්න බැරි වෙච්ච එකය.

මේඝනාද