ඉන්දියාවත් පරාජය කළ ශ්‍රී  ලංකාව අවසන් තරගය ආසන්නයටම එයි

0
30

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගවලියේ තවත් තීරණාත්මක තරගයක් පෙරේදා (6දා) රාත්‍රියේදී නිමාව දුටු අතර, එහිදී ප්‍රබල ඉන්දීය පිල පරදා කඩුලු 6ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් මෙම ජයත් සමඟින් ශ්‍රී  ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය වෙන්කරගත්තේ ඉන්දීය පිලට අවසන් තරගයට පිවිසීමේ ඇති අවස්ථාව අවදානමකට ලක් කරමිනි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදීත් නැවත වරක් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී  ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8කට රැස්කළ ලකුණු 173ට පිළිතුරු සැපයූ ශ්‍රී  ලංකා පිල පන්දුවාර 19.5කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

ඉන්දීය පන්දුයැවීමේ බළඇණිය හමුවේ අභියෝගාත්මක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් නැවතත් සාර්ථක ආරම්භයක් ළඟා කරගත්තේ ශ්‍රී  ලංකාව වෙත තරගයේ වැඩි වාසි නැඹුරු කරමිනි. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී  ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 97කි. එය විස්සයි-20 තරගයකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී  ලංකාවෙන් වාර්තා වූ හොඳම ආරම්භක සම්බන්ධතාවය ලෙසද වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි.

කෙසේ වෙතත් ලකුණු 52ක් රැස්කරගෙන සිටි පැතුම් නිස්සංක පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, නැවත වරක් අසාර්ථක වූ චරිත් අසලංක චහාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලකට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එම දැවී යෑමත් සමඟින් තරගයේ පීඩනය නැවතත් ශ්‍රී  ලංකාව වෙත නැඹුරු වීමක් දැකගත හැකි වූ අතර, එය තවදුරටත් තීව්‍ර කරමින් ලකුණු 57ක් රැස්කරගෙන සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට යුෂ්වේන්ද්‍ර චහාල්ට හැකියාව ලැබිණි. මෙහිදී ලකුණු 18ක් තුළ ශ්‍රී  ලංකා ඉනිමේ කඩුලු 4ම බිඳවැටීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

එසේ වුවද ශ්‍රී  ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක පන්දු 34කදී නොබිඳුණු ලකුණු 64ක සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී  ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. දසුන් ශානක පන්දු 18කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස්කළ අතර, භානුක රාජපක්ෂ පන්දු 17කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේය.

මෙහිදී පළමුව ලකුණු රැස්කළ ඉන්දීය පිලේ ලකුණු පුවරුව 11 වෙද්දී පළමු කඩුල්ල ලෙස ලෝකේෂ් රාහුල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට මහීෂ් තීක්ෂණට හැකි වූ අතර, දිල්ෂාන් මධුසංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් විරාත් කෝලි ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත පිය නැඟීය. ඉන් අනතුරුව නායක රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදේව් ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් එක් කරනු ලැබූවේ ඉන්දීය ඉනිමට යම් ස්ථාවරත්වයක් ළඟා කර දෙමිනි. කෙසේ වෙතත් ලකුණු 72ක් රැස්කරගෙන සිටි ෂර්මා දවා ගැනීමට දසුන් ශානක සමත් වූ අතර, සූර්යකුමාර් යාදේව් ලකුණු 34ක් ලබාගත්තේය.

හර්දික් පාණ්ඩියා පස්වැනි කඩුල්ල ලෙස ලකුනු 17කට දැවී යද්දී නැවත වරක් අසාර්ථක වූ රිෂාබ් පාන්ට් ද ලකුණු 17කට දවා ගැනීමට දිල්ෂාන් මධුසංක සමත් විය. නැවතත් ක්‍රියාත්මක වූ මධුසංක, දීපක් හූදාගේ මැද ඉන්න ගලවා දැමූවේ ඉන්දීය පිලේ අවසන් බලාපොරොත්තුවද සුනු විසුනු කර දමමිනි.

බුවනේෂ්වර් කුමාර් ලකුණු නොලබා දැවී ගියද රවිචන්ද්‍රන් අශ්වින් වේගවත් ලකුණු 15ක් රැස්කරගත්තේය.

මෙහිදී ශ්‍රී  ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මධුසංක කඩුලු 3ක් බිඳහෙලූ අතර චාමික කරුණාරත්න සහ දසුන් ශානක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු සාරාංශය

ඉන්දියාව

(පන්දුවාර 20කදී කඩුලු 8කට) 173

(රෝහිත් ෂර්මා 72, සූර්යකුමාර් යාදව් 34, රිෂාබ් පාන්ට් 17, හර්දික් පාන්ඩියා 17, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 15, ලෝකේෂ් රාහුල් 06, දීපාක් හූදා 03, අර්ෂදීප් සිං නොදැවී 01, විරාත් කෝලි 00, බුවනේෂ්වර් කුමාර් 00, දිල්ෂාන් මධුසංක 24/3, චාමික කරුණාරත්න 27/2, දසුන් ශානක 2/26, මහීෂ් තීක්ෂණ 29/1, අසිත ප්‍රනාන්දු 28/0, වනිඳු හසරංග 39/0)

ශ්‍රී  ලංකාව

(පන්දුවාර 19.5කදී කඩුලු 4කට) 174

(කුසල් මෙන්ඩිස් 57, පැතුම් නිස්සංක 52, දසුන් ශානක නොදැවී 33, භානුක රාජපක්‍ෂ නොදැවී 25,  යුෂ්වේන්ද්‍ර චහාල් 3/34, අශ්වින් 32/1, බුවනේෂ්වර් 0/30, අර්ෂදීප් 0/40, පාන්ඩියා 0/35)