අයිස් ජාවාරමා බුද්ධි තොරතුරෙන් අත්අඩංගුවට

0
8

ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගෙනයමින් සිටි පුද්ගලයකු ලද බුද්ධි තොරතුරක් අනුව මීගමුව ප්‍රදේශයේදී 06දා රාත්‍රි පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසුවේය.

තවත් පුද්ගලයකුට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 300යි, මිලිග්‍රෑම් 700ක් හා මිනුම් උපකරණයක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වන විට සැකකරු සන්තකයේ රුපියල් 16000/= ක මුදලක් තිබී සොයාගත් බව ද පොලිසිය කීය.

කටාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‍ෙදාම්පේ හා පෑලියගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන විශාල මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයකු ලෙස හඳුනාගැනීමට හැකිව තිබේ. සැකකරු සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශන අනුව මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව පෑලියගොඩ  අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරි මහතෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු 07 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීම ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරි මහින්ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක යන මහතුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මුතුකුමාරණ, පෙරේරා, පොලිස් සැරයන්වරුන් වන අධිකාරි (38636), රණසිංහ (60699) පොලිස් කොස්තාපල්වරුන් වන ගයාන් (77930), කුමාර (82159), චතුරංග (84427), ප්‍රනාන්දු (85816), දුනුකාර (92347), කුමාර (30378) යන නිලධාරීන් විසින් සිදු කර තිබිණි.  

ජා – ඇළ ප්‍රසංග පාවුළුහේවා