අපචාර කළ උණවටුන කපුවාට සහාය දුන් අයෙක් රිමාන්ඩ්

0
12

බාලවයස්කාර පාසල් සිසුන් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ කපුවාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු 20 වැනි දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය සැකකරු එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට 06 වැනි දින නියෝග කළාය.

රිමාන්ඩ් ගත කළේ දේවාලය පිහිටි උණවටුන මැටරඹ ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. කපුවාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම අපරාධය සඳහා සැකකරුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි. අපයෝජනයට ලක් වූ සිසුන් දිවයිනේ විවිධ පළාත්වල සිටින නිසා සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉල්ලා සිටියහ.

ඒ අනුව සැකකරු ආවරණය කොට මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකාර කපුවාට ළමයින් අපයෝජනය කිරීම සඳහා හෝටල් වෙන් කිරීම, ළමයින්ට මුදල් දීම, ආහාර පාන දීම, තෑගි දීම ආදී සියලු කටයුතු කර අපරාධය සඳහා ආධාර අනුබල දී ඇත්තේ මෙම සැකකරු බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඔහුගේ ජංගම දුරකථන දෙකක්ද තම භාරයට ගත් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සැකකරු වෙනුවෙන් නීතිඥ ධම්මික පෙරේරා මහතා සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ අෑපා අරුණ ශාන්ත මහතා පෙනී සිටියේය.

ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දින් අහංගම – එස්. දීයගහගේ