“චීනය නම්‍යශීලී නොවුණොත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම දුෂ්කර යි” – ජපානය

0
328

චීනයේ සහභාගිත්වයෙන් තොරව ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම දුෂ්කර වනු ඇතැයි ජපානය පවසයි.

ජපාන රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එම නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ චීනය, ශ්‍රී ලංකාවේ විශාල ම ණය ප්‍රමාණයක් හිමි රට බව ය.

චීනය, ඉන්දියාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සහතිකයක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගත නොහැකි බව එහි දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් අවධාරණය ඇත.

2025 වන විට ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තය 2.4%ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයට ළඟා වීමට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 6%කින් පමණ වර්ධනය විය යුතු බව රොයිටර්ස් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, එය වසර පහකින් පමණ ඉටු නොවූ දෙයක් බව ත් මේ වසරේ මෙරට ආර්ථිකය අවම වශයෙන් 8%කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ත් එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය වන අමෙරිකානු ඩොලර් බිලියන 63කින් 7%ක් හෝ 12%ක් මෙරට වරායවල්වල සිට ක්‍රීඩාංගන දක්වා වියදම් අධික ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ඇති චීනය දරන බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

ජපානය තවත් ඩොලර් බිලියන 3.5ක් ලබා දී ඇති අතර ඉන්දියාව ඩොලර් බිලියන 1ක් පමණ ලබා දී ඇතැයි රොයිටර්ස් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IMF දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගී වේදිකාවක් ඇති කිරීමට නිර්මාණාත්මක ක්‍රම සොයා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව ය.

කෙසේ වෙතත්, ණය හිමියන් අතර ණය සහන බෙදී යන ආකාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව ද ඔහු රොයිටර්ස් සමග ප්‍රකාශ කර ඇත.

ආර්ථික විශේෂඥයින් පවසන්නේ ශ්‍රී ලංකාව, COVID-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී ණය බරින් පීඩා විඳි රටවලට උපකාර කිරීම සඳහා පිහිටුවන ලද G20 “පොදු රාමුව” සැලැස්මේ කොටසක් වූයේ නම්, ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සරල විය හැකිව තිබූ බව ය.

එකල ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබූ අතර ඊට සුදුසුකම් ලබා නොතිබිණි.

ඒ යටතේ ‘පැරිස් ක්ලබ්’ රටවල් සහ පුද්ගලික අංශයේ ණය හිමියන් සමග චීනය ස්වයංක්‍රීයව ණය සහන ලබා දෙන බව රොයිටර්ස් සඳහන් කර ඇත.

රොයිටර්ස් වාර්තාවේ තව දුරට ත් දැක්වෙන්නේ ජපානය චීනය, ඉන්දියාව සහ අනෙකුත් පාර්ශව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා සඳහා තල්ලු කරමින් සිටින බව ත් ඒ සඳහා මේ දක්වා චීනය ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ත් ය.

කෙසේ වෙතත්, සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී චීනයේ ප්‍රධාන භූමිකාව එය එසේ කිරීමට දිරිමත් කරනු ඇතැයි බලාපොරොත්තු ඇති බව රොයිටර්ස් වාර්තා කර තිබේ.

ඉන්දියාව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බව එහි දැක්වේ.

චීනය එකඟ නොවෙන්නේ නම්, අනෙක් පාර්ශව ද එසේ නොකරනු ඇතැයි අශුභවාදීන් කනස්සල්ලට පත්ව ඇති බව රොයිටර්ස් වාර්තා කර ඇත.

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, චීනය ද ඇතුළුව ගෝලීය වත්කම් කළමණාකරුවන් විසින් ලබා ගනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 20කට ආසන්න බව ය.