Uber ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී

0
226

Uber Sri Lanka මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 2,00,000ක මුදලක් පරිත්‍යාග කරන බව පසුගියදා නිවේදනය කළේය. රට පුරා අත්‍යවශ්‍ය ආහාර හා ඔෟෂධ බෙදාදීම සඳහා මෙම අරමුදල් භාවිත කෙරෙනු ඇත.

මේ යටතේ Uber රියැදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළුව 10,000කට අධික පිරිසකට, සිවු දෙනකුගෙන් යුත් පවුලකට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය මලු හිමිවනු ඇත. මීට අමතරව 30,000කට අධික පිරිසකට සේවාවන් සලසන ග්‍රාමීය රෝහල් 15කට අත්‍යවශ්‍ය ඔෟෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ඔෟෂධ සහ උපකරණ සෘජුවම ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිලදීගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින Uber කලාපීය සාමාන්‍යාධිකාරී (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා විසින් මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙම අවස්ථාවට Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ ශාඛා විධායක නිලධාරිනී කුමාරි කොතලාවල මහත්මියද එක්වූහ.

 “ශ්‍රී ලංකාව ඇතුළුව අප ව්‍යාපාර කටයුතු සිදුකරන රටවල ප්‍රජාවන්ට අත්වැලක් වීමට අප සෑම විටම උත්සාහ කරනවා. ශ්‍රී ලංකාව මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයකට බව පැහැදිලියි. එම නිසා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ එක්වී මෙවැනි සත්කාරයක් සිදුකිරීමට හැකිවීම අපට සතුටක්. ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් ඉතා ශක්තිමත් නිසා මෙම අභියෝග ජයගනිමින් පෙරටත් වඩා ධෛර්ය සම්පන්න ලෙස නැඟී සිටීමට ඔවුන්ට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” Uber කලාපීය සාමාන්‍යාධිකාරී (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය පැවැසුවාය.

 “ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා Uber දියත් කර ඇති මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනක්. මේ දක්වා එවැනි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉටුකර ඇති මෙහෙවර නිසා, මෙම නව වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා Uber අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අවස්ථාවේදී මෙවැනි හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම අතිශයින් වැදගත්.” ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා පැවැසීය.