මුල්ලේරියාවේ කල්ලියක් හිස් ගෑස් සිලින්ඩර 15ක් සොරාගෙන

0
16

මුල්ලේරියාව, ගල්වාන නගරයේ පවත්වාගෙන යන ලිට්රෝ ගෑස් නියෝජිත අලෙවිසලකට අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි ගබඩා කර තිබූ හිස් ගෑස් සිලින්ඩර 15ක් සොරාගෙන ගොස් ඇත.

ගෑස් අලෙවිසලට යාබදව ඇති සිල්ලර වෙළෙඳසලටද ඇතුළු වී එම කොල්ලකරුවන් පිරිස එහි අලෙවිය සඳහා තබා තිබූ කිරිපිටි, මුදලින් රුපියල් පහළොස් දහසක්, දුම්වැටි සොරාගෙන ගොස් ඇත.

හඳුනානොගත් සංවිධානාත්මක කොල්ලකරුවන් කණ්ඩායමක් මංකොල්ලකෑම් දෙකම එකම මොහොතක කර තිබේ. සී.සී.ටී.වී. කැමරාවලට හසුනොවන ලෙස සැලසුම් සහගතව උපායශීලී ලෙස මංකොල්ලකෑම් කර ඇත. ඉන් වෙළෙඳසල්වලට සිදුව ඇති පාඩුව ලක්‍ෂ දෙකකට ආසන්නය.

යකඩ ‍ෙදාරවල් අගුළු කඩාදමා හඳුනානොගත් කොල්ලකරුවන් කණ්ඩායමක් මුල්ලේරියාව ප්‍රදේශය තුළ නිදහසේ සැරිසරමින් ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම කරන මංකොල්ලකෑම් නිසා මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යෑමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

සැකකරුවන් හසුකර ගැනීම සඳහා  මුල්ලේරියාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මුල්ලේරියාව – ඉරෝෂණ මුදලිගේ