බලධාරීන්ගේ වරදින් සිදුවන මෙවැනි විපත් දරාගන්න බැහැ

0
21

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නව වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි නාරංගස්අංගේ ගෙදර සජිත සහස් ගුණරත්න පාසල නිමවී නිවෙසට යමින් සිටියදී අනාරක්ෂිත බෝක්කුවකට වැටී දියේ ගිලී ඉකුත්දා (05දා) මෙලොව හැර ගියේය.

දිනය පුරා කුරුණෑගල නගරයට වර්ෂාව පතිත විය. පෙර දින රාත්‍රිය ආරම්භ වූ වර්ෂාව නිමා වූයේ නැත.

කාලකණ්ණි මූසල දිනයක් යැයි බොහෝ දෙනා කිව්වේ තමන් කරන්නට හිතා සිටි කිසිවක් කරන්නට නොහැකි වූ නිසාය.

ඒ සැබෑවක් වූයේ සජිත සහස්ගේ අම්මට තාත්තාට හා වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට පමණකි. මුළු මහත් පාසලත් ගම් ප්‍රදේශය පමණක් නොව මුළු මහත් රටම හඬවමින් සජිත් සහස් දිය රකුසාට බිලි විය.

සජිත පාසල නිමා වී වෙනදා නිවෙසට යන පාර අධික වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබිණි. සජිත දිනපතා ගමන් කරන පුරුදු පාරේ ගමන් කරමින් සිටියේය. වාහන දෙකකට මාරුවීමට තරම් නොහැකි මාර්ගය පටුය. බොක්කුව අංගසම්පූර්ණව නිමවා නොතිබිණි.

සිද්ධිය දුටු අය පවසන පරිදි කානුව හා පාර වෙන්ව හඳුනාගත නොහැකි ලෙස ජලයෙන් යටවී තිබූ බවත් මාර්ගයේ ගමන් කළ වාහනයකට ඉඩ දීමට සජිත පාරෙන් මඳක් අයිනට වී ඇත. එවිට ජලය පිරුණු කානුවට මෙම දරුවා ලිස්සා යනවා දුටු අය හැඬ­ූ කඳුළින් කියන්නේ ජලයේ ගිලුණු දරුවා නොපෙනී ගිය බවයි.

ජලයේ ගසාගෙන යන සජිතගේ පාසල් බෑගය පළමුව පොලිස් නිලධාරියකු විසින් සොයාගනු ලැබීය. නමුත් සජිත  දකින්නට නොලැබුණු බැවින් ප්‍රදේශවාසීන් සෑම තැනකම දරුවා සෙවූහ. සුළු මොහොතක් ගෙවී යන විට ප්‍රදේශවාසීන් අසල ඇති කුඩා බෝක්කුව තුළ දරුවා රැඳී ඇතැයි සැක කොට බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන බෝක්කුව කඩන්න විය.

පැයක පමණ කාලයක් වෙහෙස මහන්සියෙන් පසු බෝක්කුව අස්සේ හිරවී සිටි සජිත ගොඩට ගන්නට ප්‍රදේශවාසීන්ට හැකි විය. වහාම කුරුණෑගල නගර සභාවේ කැබ් රථයකින් කුරුණෑගල රෝහලට ඇතුළත් කරන විට සජිත ජීවත්ව සිටියද ඔහු බොහෝ දුරට දුර්වල තත්ත්වයක පසුවිය. කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඔහු ඇතුළත් කළද ඔහුව ජීවත් කරවන්නට වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලයට නොහැකි විය. ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වුවද පැයකට අධික කාලයක් ඇතුළත මෙලොව හැර ගියේ මේ රටේ පාලකයන්ගේ අමනෝඥ හා අකාර්යක්ෂමතාව එලසම තවදුරටත් පවතින බව මුළු මහත් සමාජයටම කියාපාමිනි.

කුරුණෑගල මහ නගර සභා සීමාව තුළ පිහිටි මෙම අනාරක්ෂිත ස්ථානයේ එක් පසෙකින් මලියදේව ආදර්ශ මහා විද්‍යාලයත් අනෙක් පසින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයත් පිහිටා ඇත. එමෙන්ම ඒ ආසන්නයේ විහාරස්ථානයක්ද පිහිටා ඇත. එවැනි ස්ථානයක මෙවැනි අනාරක්ෂිත බෝක්කුවක් පිළිබඳ අවධානය යොමු නොවීම දේශපාලකයන් හට වගකීම් පැහැර හැරීමක් බව ප්‍රදේශවාසීහු පවසති.

සජිත සහස් ගුණරත්න දරුවා ඉගෙන ගත් කුරුණෑගල මලියදේව ආදර්ශ මහ විදුහලේ 7 ඒ ශේ‍ර්ණිය භාර ගුරුතුමිය වන රේණුකා කුමාරි මහත්මිය මෙසේ පැවැසුවාය.

මේ දරුවා හරිම ගුණගරුකයි. අහිංසකයි. සහෝදරත්වයෙන් වැඩ කරනවා. දඟ නැහැ. විනයගරුක වගේම දක්ෂ නිශ්ශබ්දතාව රකින දරුවෙක්. හොඳ පරිසරයක හිටපු හැදුණු වැඩුණු දරුවකු බව කියන්න ඕනෑ. කියන දේ ඉක්මනින් අවධාරණය කරගන්නා අතර ඉක්මනින් ක්‍රියාත්මක වන දරුවෙක්. ඔහුගේ වියෝවීම පාසලට විශාල පාඩුවක්.

සංවේදී දරුවෙක් වගේම කලින්ම විෂයයන්ට සූදානම් වන දරුවෙක්. ඔන්ලයින් වැඩ හොඳට කරනවා. අන්තිම පීරියඩ් එකෙත් සතුටින් හිටියා.

වෙනදා 12 වැනි ශේ‍ර්ණියේ ඉගෙනගන්න සහස්ගේ සහෝදරිය එක්ක යන්නේ. අක්කට පන්ති තියෙන නිසා සහස් තනියම ගිහින් තියෙන්නේ. වෙනදා ආච්චි එනවා. ආච්චි ගමනක් ගිය නිසා යන්න ප්‍රමාද වෙලා.

මලියදේව ආදර්ශ මහ විදුහලේ විදුහල්පති තුමා

මේ දරුවා දක්ෂ විනයගරුක සමාජයට යහත් දරුවෙක්. පාසලේ ජනප්‍රිය දරුවෙක්. විෂය කරුණු වගේම බාහිර වැඩවලටත් දක්ෂයි. ආදර්ශවත් දරුවෙක්. හොඳ අනාගතයක් තිබුණ දරුවෙක්. අනෙක් දරුවන් සමඟ සහයෝගයෙන් සාමකාමීව ජීවත් වෙන දරුවෙක්. බලධාරීන්ගේ වරදින් මෙවැනි දරුවන් රටට අහිමි වීම විශාල පාඩුවක්. ඒක දරාගන්න බැරි වේදනාවක්.

මේ මාර්ගයේ මෙවැනි අවදානම් සහිත ස්ථාන කිහිපයක්ම ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඒ තැන්වල මීටත් වඩා අනතුරු විය හැකි බව ඔවුහු පවසති. එහෙයින් තවත් අයකුට මෙවැනි ඉරණමකට මුහුණ දීමට ඉඩ නොතැබීම පාලකයන්ගේ වගකීමක් බව සටහන් කර තැබිය යුතුය.

කුරුණෑගල – ජයන්ත දිසානායක