පොලිස් දිනය සමරා පෑලියගොඩ පොලිසියේ වැඩසටහන් රාශියක්

0
27

156 වැනි ජාතික පොලිස් දිනය සමරා පෑලියගොඩ පොලිසිය විසින් පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය හා ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම ජීවිතයට බලපා ඇති ගැටලු සාකච්ඡා කර ඔවුන්ට වියළි සලාක ප්‍රදානය කිරීම පෑලියගොඩ පොලිස් මූලස්ථාන භූමියේදී පවත්වන ලදී.

එදිනම පොලිස් නිලධාරීන්ට වාර්ෂිකව පිරිනමන පොලිස් ත්‍යාග ප්‍රදානය සිදුකළ අතර මෙවර වැඩිම ත්‍යාග මුදල වූ රුපියල් එක්ලක්‍ෂ හැටපන් දහසක මුදල පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරි මහින්ද විල්ලෝරාරච්චි මහතාට හිමිව තිබිණි. දෙවැනි ත්‍යාග මුදල දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සංජීව දසනායක මහතාටද තෙවැනි ත්‍යාග මුදල එම අංශයේ පොලිස් සැරයන් බටුවත්ත මහතාට හිමිවිය.

156 වැනි පොලිස් දිනයට සමගාමීව පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් වෙනුවෙන් හේමාස් පෞද්ගලික රෝහල සෞඛ්‍ය සායනයක් එම පොලිස් ස්ථානයේදී පවත්වන ලදී. පොලිස් නිලධාරීන්ගේ සමාජ දැනුම තවත් වර්ධනය කිරීමේ අරමුණින් කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා දේශනයක් පැවැත්වූ අතර 4 වැනිදා සවස පූජ්‍යපාද ‍ෙදාඩම්පහළ රාහුල හිමියන්ගේ විශේෂ ධර්ම දේශනාවක් පොලිස් ස්ථානයේදී පවත්වන ලදී. 5 වැනිදා පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එදිනම ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් නාරම්මිණිය විහාරස්ථානයේදී කොළඹ අක්‍ෂි රෝහලේ කාර්ය මණ්ඩලය විසින් අක්‍ෂි සායනයක්ද පවත්වන ලදී. 6 වැනිදා කැලණිය ධර්මාලෝක විදුහලේ සිසුන් අමතා ඔවුන්ගේ රැකවරණය හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

කැලණිය – කුසුම් එස්. හැන්නදි