පාන්…. පාන්…. කාපාන්…

0
82

පාන් ගෙඩියක මිල දැන් දරාගන්නට බැරි තරමට ඉහළ ගොසින්ය. ගෙඩියක මිල සමහර තැන්වල තුන්සියයකි. සමහර තැන්වල ඊටත් වැඩිය. හවසට වැඩ නිමවී ගෙදර යනවිට පාන් ගෙඩියක් දෙකක් ගෙදර ගෙනිහින් රෑ කෑම වේල පිරිමසාගත් කෙනාට දැන් ඒ වැඩේ කරන්නට පුළුවන්කමක් නැත. ඒ තරම් මුදලක් දිනපතා වියපැහැදම් කරන්නට ගියොත් මාසෙ වැටුපෙන් වෙන දෙයක් කරන්නට බැරිවෙයි. පාන් කාලක් කා තේ එකක් බී පාතරාසය පිරිමසාගත් කෙනාටත් දැන් ඒ වැඩෙත් අතහැර දමන්නට සිදුවී තිබේ. අනිත් පැත්තෙන් බේකරි ටිකෙනුත් වැඩි ප්‍රමාණයක් වසා දමන්නට සිදුවී තිබෙන සැටියකි.

ඊයේ අප ‘මව්බිමෙහි’ තිරිඟු පිටි හිඟයෙන් බේකරි 2000ක් වැසෙයි යන්න ප්‍රධාන පුවතකි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඒ කතාව ‘මව්බිම’ ට කියන ගමන් තවත් බරපතළ පීඩාකාරී තත්ත්වයන් රැසක් ගැන තොරතුරු අනාවරණය කළේය. ඔහු කීවේ මෑතකදී රුපියල් 13,000කට පැවැති කිලෝග්‍රෑම් පනහේ පිටි මිටිය දැන් රුපියල් 20,000ටත් විකිණෙන බවය. පාන් ගෙඩියේ මිල ඉහළ නැඟ ඇත්තේ මේ තත්ත්වය නිසා බවත් ආණ්ඩුව මේ තත්ත්වයට වහා මැදිහත්වී විසඳුමක් දිය යුතු බවත් එහෙම කළොත් පාන් ගෙඩියේ මිල රු. 190 දක්වා වත් අඩු කළ හැකි බවත් ජයවර්ධන කියයි.

ගෑස් මිල, තෙල් මිල මේ හැම එකක්ම අඩුකොට ඇති බව කියයි. කාරණය ඇත්තය. අඩුකර තිබේ. ඒත් අඩු කිරිල්ල ඇඟට දැනෙන්නේ නැත. වැඩිවීම දරාගත නොහැකි තරමටම ඉහළ ගොස් තිබෙන නිසාය. පාන් ගෙඩියේ මිලද මේ මිල සූත්තරයටම යටත්ය. අඩු කරනවාය කීවාට ඒ අඩු කිරීම ඇඟට දැනෙන එකක් නැත. අඩු කිරීම කවදා සිටද කෙසේද කියන කාරණයත් නිශ්චිත නැත.

1994 අවුරුද්දේ චන්ද්‍රිකා මැතිනිය මැතිවරණ වේදිකාවක ඒ වනවිට රුපියල් 5.50ට තිබුණු පාන් රාත්තල රුපියල් 3.50ට දෙන බවට පොරොන්දුවක් දුන්නාය. 5.50ට මිල වැඩි වුණේ 3.50ට තිබුණු පාන්ය. ජයග්‍රහණයෙන් පසු චන්ද්‍රිකා පාන් මිල අඩු කළ බව අපට මතකය. එදා 3.50ට තිබුණු පාන් රාත්තල මිල වැඩි වුණේ ටිකෙන් ටිකය. ඒ වැඩිවීම ඉතා හෙමින්ය. ඒත් ඉකුත් අවුරුදු දෙක තුන තුළ පාන් රාත්තල ගණන් ඉස්සුවේ අධිවේගයෙනි. පාන් කියා ගන්නවත් බැරිව සිටි සාමාන්‍ය ජනතාවට දැන් පානුත් නැත. පාන් වෙනුවට විල්පයකුත් නැත. ගෑස් හිඟවී, විදුලිය කැපිල්ලට මැදිවී ගෙදර ළිප පත්තු කරගන්නට ක්‍රමයක් නැතිව සිටි කාලයෙත් පාන් ගෙඩිය පිහිටට තිබුණේය. ගෑස් ප්‍රශ්නය, විදුලි ප්‍රශ්නය ටිකෙන් ටික විසඳෙන ලකුණු පෙනුණත් දැන් බරපතළ පාන් පිටි හිඟයක් ගැන කතන්දර අසන්නට ලැබේ. මේ කොරේ පිටට මරේ කීවා වගේ වැඩකි.

තිරිඟු පිටි හිඟය විසඳීමට සති දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු බේකරි හිමියන්ට දැඩි අවවාදයක් දෙයි. ඒ තමන් ප්‍රශ්නය විසඳන තුරු කට පරිස්සම් කරගෙන සිටින ලෙසය. පරිස්සම් කරගත යුත්තේ කොයි කටවල් දැයි අපට නම් හරියට පැහැදිලි නැත. අපට කියන්නට තිබෙන්නේ කට පරිස්සම් කරගෙන සිටිය යුත්තේ දේශපාලකයන් බවය. ඔවුහු මේ රටේ මහජන නියෝජිතයෝ වෙති. ඔවුන්ට අමාත්‍ය තනතුරු පිරිනමා තිබෙන්නේ රටේ ප්‍රශ්න විසඳන්නටය. කට පරිස්සම් කරගෙන ඉන්නැයි අවවාද කිරීම හෝ තර්ජනය කිරීම පාන් නැත්නම් කේක් කාපල්ලායි කියපු කතාවට දෙවැනි නැත.

කට පමණක් නොව අඩු තරමින් රට පරිස්සම් කරගන්නට බැරි වීම නිසා මුළු රටම අද බරපතළ ආර්ථික ප්‍රපාතයකට ඇදවැටී තිබේ. “ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි” කිය කියා පෙළපාළි යන්නට වර්තමාන පුරවැසියා සූදානම් නැත. සීනි නැතිව තේ බොන්නම් කිය කියා පෙළපාළි ගිය කාලයේ පාන් ගෙඩියේ මිල වුණත් දරාගත  හැකි තත්ත්වයක තිබිණි. පෝලිමේ ගිහින් පාන් ගත්තේ රටේ හාල් හිඟයක් තිබුණු කාලයේය. සම්බලක් හදාගෙන, පරිප්පු හොද්දක් උයාගෙන පාන් කාලක්, බාගයක් කා එදාවේල පරිමහ ගන්නට පුරුදුව සිටි උදවියට දැන්නම් කිසිම හව්හරණක් නැත.

ප්‍රීමා හා සෙරන්ඩිබ් යන සමාගම් සතුව තිබෙන පාන්පිටි ප්‍රමාණයෙන් 50%ක් වත් බේකරිවලට කඩිනමින් බෙදාහරින ලෙස දැනුම්දී ඇති බව කියයි. එම සමාගම්වලට තිරිඟු ඇට ගෙන්වීම සඳහා ඩොලර් ප්‍රමාණයක් හෝ ලබාදෙන බවටද කතාබහක් සිදුවී තිබේ. මේ යෝජනා කොතරම් දුරට ප්‍රායෝගිකද? එම සමාගම් එකී ඉල්ලීම් සපුරාලන්නට ඉදිරිපත් වේද, ඒ සම්බන්ධව අපට නම් ඇත්තේ විචිකිච්ඡාවකි.

තුර්කියෙන් හා ඩුබායි රටවලින් මේ මස 15දා වනවිට තිරිඟු පිටි ලැබෙන බවක්ද කියයි. වරායට නැව් ඇවිත් බඩු ටික ගොඩබානතුරු ‘රටින් එන කතන්දර’ ගැන විශ්වාස කරන්නට පුළුවන්කමක් නැත. තෙල් නැව් සම්බන්ධව කළ කී කතන්දරවලින් මේ රටේ සමස්ත ජනතාවගේම විශ්වාසය බිඳී ගොසිනි. ආහාර ද්‍රව්‍ය වුවත් අත්පිට මුදලට ලබාදෙනු මිස කටවචනයට නොව ගිවිසුම්වලටවත් රට රටවල සමාගම් එකඟ වන බවක් නොපෙනෙයි. ඒ අතරේ ඉන්ධන සැපැයුම් විධිමත් කරන තුරු අත්‍යවශ්‍ය භාණ්ඩ, මාළු,

එළවළු මිල පහත දැමීමට නොහැකි බවත් කර්මාන්ත ක්‍ෂේත්‍රය පවත්වා ගැනීම දුෂ්කර වී ඇති බවත් අමාත්‍යාංශ 4ක් ජීවන වියදම් කමිටුවට දැනුම් දී තිබේ. පාන් ගෙඩියේ කතන්දරයටද මේ තත්ත්වය බලපාන්නේ නැතැයි කෙසේ කියන්නද?

රුපියල් 3.50ට කෑ පාන් රුපියල් 350ට කන්නට සිදුවීම එක් අතකින් විස්මයජනක කතන්දරයකි. මේ පෙරළියට මහ ලොකු කාලයක් ගෙවුණේ නැත. අමාරුවෙන් හරි පාන් නොකා ඉන්නට බැරිකමකුත් නැත. ඒත් වෙන කන්නට දේවල් තිබිය යුතුය. එහෙමත් විකල්පයක් නැති රටක පාන් ගෙඩියේ මිල ඉහළ නැඟීම, පාන් පිටි හිඟය, පාන් පිටි මිල නොසෑහෙන තරමට ඉහළ නැඟීම බරපතළ ගැටලු කන්දරාවකට මඟ පාදයි. බේකරි කර්මාන්තයට සම්බන්ධ වී ජීවිකාව ගෙන යන පිරිසද ලක්‍ෂ ගණනකි. බේකරි දෙදහස් ගණනක් වැසී යෑම

ඒ පිරිසට රැකියා අහිමිව යන තත්ත්වයකි. අනෙක් අතට පිටි මිල වැඩි වීමෙන්, හිඟ වීමෙන් රොටියටද බැට වදී. තැටිය රත්කරගෙන හිටියාට පලක් නැත රොටිය පුච්චා ගන්නට පිටි නැතිනම්.

පාන් පිපිලා තියෙන වෙලාවක පාන් තම්බන්න කලින් වැරදිලා හෝ ලයිට් ගියොත් ඒ පාන් වඩියම විසි කරන්න වෙනවා. මේ විදුලි පෝරනුවෙන් පාන් පුලුස්සන උදවිය මුහුණදෙන ගැටලුවකි. පාන් ගෙඩිය පිටුපස කතන්දරයද ඒ තරමටම යහපත් නැත. සියල්ලෙන් පැහැදිලි වන්නේ කට පරිස්සම් කරගෙන හිටියාටම ගැටලු විසඳෙන්නේ නැති බවය.