දඹුල්ල ජාතික පාසල් දෙකක දරුදැරියන් 210කට ජීවිතාරක්ෂක පුහුණුව

0
14

දිය යට සැඟවෙන ජීවිත ගොඩදාන්න පෙරමුණ ගන්න පාසල් දරුවන්ට උගන්වයි. “දියෙහි ගිලෙන ජීවිත බේරා ගැනීම හා ක්‍රීඩාවට නැඹුරු වී මතට තිත තබමු” යන උදාර සංකල්පය යටතේ පොලිස් ජීවිතාරක්ෂක අංශය සහ දඹුල්ල ජල ක්‍රීඩා සංගමය එක්ව පවත්වන්නට යෙදුණු පාසල් දරුවන් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා ඊට එක්වූ දරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් ජීවිතාරක්ෂක පුහුණු ප්‍රථම සහතිකය ප්‍රදානෝත්සවය පසුගියදා (05දා) දඹුල්ල ඉබ්බන්කටුවේදී පැවැත්විණ.

156 වැනි ජාතික පොලිස් දිනය නිමිති කොට ගෙන දඹුල්ල මූලස්ථාන පොලිසිය, මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක සංගමය මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

දඹුල්ල ජාතික පාසල සහ වීර මොහාන් ජයමහ විද්‍යාල දෙකේ දරු දැරියන් 210කට ජීවිතාරක්ෂක පුහුණුව ලබාදී ඇත. දියෙහි ගිලෙන අයකු බේරා ගැනීම, තමන් දියේ ගිලීමට ලක් නොවී බේරීම, තවත් හදිසි ආපදාවකදී මුහුණ දිය යුතු ආකාරය, දේපළසහ ජීවිත බේරා ගන්නා ආකාරය, හදිසි අනතුරකදී ප්‍රතිකාර කළ යුතු ආකාරය මෙන්ම දිය අනතුරු අවම කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙම දරුවන් දැනුවත් කිරීම මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ඇතුළු ජීවිතාරක්ෂක කණ්ඩායම සිදුකර ඇත.

මෙම වැඩසටහන් යටතේ පාසල් යන දූ දරුවන් ක්‍රීඩාවට නැඹුරු වී මතට තිත තබමු යන තේමාව යටතේක්‍රියාත්මක වන බවත් මේ වන විට බොහෝ දරු දැරියන් දිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වීම සහ හදිසි අනතුරුවලට ලක්වන ප්‍රවණතාව නිසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට දඹුල්ල සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර, දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා, දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජනක විජේසිංහ, වීර මොහාන් ජයමහ විද්‍යාලයේ විදුහල්පති අරුණ බණ්ඩාර, දඹුල්ල ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති ජේ.බී. දෙහිගම, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. මෙන්ඩිස්, පොලිස් සැරයන් රුවන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දඹුල්ල – කේ.කේ. ආරියදාස