අවශ්‍යම මොහොතේ සවියක් වෙමින් සම්පත් බැංකුව අපනයනකරුවන් දිරිගන්වයි

0
127

නව්‍යකරණ බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව, ශ්‍රී  ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදකාරි ආර්ථික තත්ත්වය සමනය කරගැනීමේ සුවිශේෂී පියවරක් ලෙස අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය හා අපනයන ව්‍යාපාරිකයන් දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමුකර ඇත. අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශ්වසනීය මූල්‍ය සහකරුවකු ලෙස නොඅඩුව සිය දායකත්වය ලබාදෙමින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ ප්‍රයත්නයට මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන සේවාවන් තුළින් සිය උපරිම සහයෝගය ලබාදීම සම්පත් බැංකුවේ අපේක්ෂාව වී ඇත.

ඒ යටතේ මූලික වශයෙන් දිවයින පුරා විසිරුණු සියලු සම්පත් බැංකු ශාඛාවන් තුළින් සෑම ප්‍රදේශයකම අපනයන කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාරිකයන් වෙත සිය සේවාවන් ලබාදීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව විශේෂිත කර්මාන්ත සඳහා කාර්මික අපනයන මධ්‍යස්ථාන ලෙස කටයුතු කරන ප්‍රදේශයන්හි විශේෂ ශාඛා ස්ථාපනය කිරීමටද කටයුතු කර ඇත. මෙම ශාඛා තුළින් ඔවුන්ට අවශ්‍ය සියලු බැංකු සේවාවන් මෙන්ම අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගැනීමේ අවස්ථාවද අපනයන ව්‍යාපාරිකයන්ට උදාවේ.

අපනයන ව්‍යාපාරයන්හි වර්ධනය වෙනුවෙන් එම ව්‍යාපාරිකයන් වෙත උපදේශන සේවා ලබාදීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත්තේ 35 වසරකට වැඩි බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් ඔවුන් වෙත ගෙන යමිනි. මෙහිදී අපනයන වෙළෙඳපොළ අත්පත් කරගන්නා ආකාරය, අලෙවිකරණ කටයුතු, ඇසුරුම්කරණය සඳහා සැපයුම්කරුවන් සොයාගැනීම හා තත්ත්ව සහතික ලබාගැනීම වැනි අපනයනකරුවන් මුහුණදෙන පොදු ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම සම්පත් බැංකුව මඟින් ඔවුන් වෙත ලබාදෙනු ඇත.

එසේම අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යවසායකයන් වෙත අවශ්‍ය මඟපෙන්වීම් සිදු කිරීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව නැව්ගත කිරීමට පෙර මූල්‍යකරණය හා නැව්ගත කිරීමෙන් පසු මූල්‍යකරණය සඳහා අවශ්‍ය සේවාවන් ලබාදීමට කටයුතු කර ඇත්තේ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයන්හිදී අපනයනකරුවන් වෙත අදාළ මුදල් ඒකකයන් මඟින් පහසුකම් ලබාදෙමිනි. එසේම දේශීයව අමුද්‍රව්‍ය සපයාගන්නා අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය ලබාදීමට මෙන්ම අපනයනයකරුවන්ගේ කාරක ප්‍රාග්ධන චක්‍රය කෙටි කිරීම සඳහා අපනයන බිල්පත් වට්ටම් කිරීමටද කටයුතු සූදානම් කොට ඇත.

තවද අපනයන ව්‍යාපාරයන්හිදී ව්‍යවසායකයන්  විසින් හසුරවනු ලබන ව්‍යාපාර ලියකියවිලි හැසිරවීමේ වගකීම භාරගනිමින් ව්‍යවසායකයන් වෙනුවෙන් එම ලියකියවිලිවලට අදාළ කටයුතු සිදු කිරීම සඳහාද සම්පත් බැංකුව අවධානය යොමුකොට ඇත. එහිදී එම කටයුතුවලින් සම්පූර්ණයෙන් නිදහස් වන ව්‍යවසායකයන්හට තමන්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමේ අවස්ථාව හිමිවීමද විශේෂත්වයකි.