Visit Visa එකකින් Settle වෙන්න පුළුවන්ද?

0
54

මේ දවස්වල ෂෙඩ් එකේ තෙල් පෝලිමට වඩා දිගයි රට යන්න පාස්පෝට් පෝලිම. ෂහ්, නියමයිනෙ. ගොඩබිමින් යන්න තෙල් නැති නිසා දැන් අපේ කට්ටියගේ ගමන් බිමන් නිතරම ගුවනෙන්. ගෙදරට කරවල ඕන්නම් කෙළින්ම මාලදිවයිනට ගොඩබැස්සා, අරන් ආවා. හාල් ඕනෙද? බංග්ලාදේශෙට ගියා අරන් ආවා. නෑ නෑ ඔළිඳ තිබ්බේ ඉස්සර. දැන් එහෙ හාලුත් තියෙනවා.

එන ගමන් ඔය පොඩි අයට කන්න චොක්ලට්, ටොෆී එහෙම ඕනෙ කියලා හිතුණද? එසැණින් ස්විට්සර්ලන්ඩ් ගියා අරන් ආවා. දන්න කාලේ ඉඳන් ඔන්න සංවර්ධනේ – මෙන්න සංවර්ධනේ කියලා බලන් හිටියට කවුද බලාපොරොත්තු වුණේ මේ තරම් සංවර්ධනයක් නේද? මේ පාස්පෝට් හදන් ගුවන් ගත වෙන ගුවන් ගතවිල්ලට තව ටික දවසකින් අහසටත් ට්‍රැෆික් ලයිට්ස් හයි කරන්න වෙයිද දන්නෙත් නෑ. එහෙමද හිතුවේ. හීන ලෝකෙ මැද්දට ඉවක් බවක් නැතුව කඩන් පැන්නට සමාව භාජනේකට දාන්න. හා හා දැන් එහෙනම් ඇහැරෙමු.

පාස්පෝට් පෝලිම ගාලු පාර වගේ දිග් ගැස්සුණේ මේ මාකට් එකට ගිහින් එළවළු ගේන්නයි ෆුඩ්සිටි එකේ රවුමක් දාලා ෂොපින් මෝල්වලත් වටයක් දෙකක් කැරකිලා ගෙදර එන්නයි නෙවේ. මේ තමා සිරි ලංකා දීපේ දෙන සිරි සැප දරාගන්න, උහුලගන්න බැරුව චිත්තප්‍රීතියට පත් මහජනතාවගේ emergency exit එක. ඒත් ඉතින් එතනත් පොඩි කොස්සක් නැතුවා නෙවෙයි. උදේ ඉඳන් පෝලිමේ වේළිලා කට්ට කාලාත් පනින්න හදන්නේ විසිටින් වීසා ගහගෙන නම්, ඔබට වෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වගේ වැඩක්. එතනිනුත් එහාට ඉක්මනින් එක්සිට් වීමේ පහසුව තකා ඔය විසිටින් වීසා ගහගන්නෙ අබුඩාබියේ වැලි කතරට නම් මිත්‍රවරුනි මං හිතන්නෙ අපි ටිකක් වාඩි වෙලා කතා කරන එක අත්‍යවශ්‍යයි.

විසිටින් වීසාවලින් අබුඩාබිවල ජොබ් ඉන්ටර්වීව්වලට ෆේස් කරන්න ගිය ලාංකිකයො පිරිසක් ආ පයින්ම ආපහු හරවලා එවපු නිව්ස් එකක් අහන්න දකින්න ලැබුණෙත් මේ ඊයෙ පෙරේදා දවසකමයි. ඒ නිසා වීසා අනුමත කර ගැනීමේ පහසුව උඩ අමුතු ඇටේ ඉඳලා අබුඩාබියට පැනගන්න හීන දැක්කට ඇත්තටම ඒ වැලි කතර මැද්දට වැටුණ දාට, ඔබට හිතූ පැතූ සම්පත් මවලා දෙන්න ඇලඩින්ගේ භූතයා පහනකින් ඔබ ඉස්සරහට ප්‍රාදූර්භූත වෙන්නෙ නෑ. එදාට ඔබට බිංදුවේ ඉඳලම ආයෙමත් තනියෙම ජීවිතේ ගොඩනඟා ගන්න වෙනවා. එකවරම මෙතෙක් හුරුපුරුදු සුවපහසු කලාපයෙන් ඔබව එළියට විසි වුණහම, ඔබ කාන්තාර ඔටුවකුටත් වඩා අන්ත අසරණ වෙනවා. දිරවගන්න කොච්චර අමාරු වුණත් මේ මොහොතේ තිත්තම ඇත්ත ඒකයි.

අබුඩාබියට වේවා  නැත්නම් වෙන කොහේ හරි රටකට වේවා සෙට්ල් වීමේ අදහසින් ඔබ විසිටින් වීසා එකක පහනෙන් එළිය බලන්න සූදානම් වෙනව නම් ඔබ කරන්නේ කටු ඉඹුලේ එල්ලිලා ඉන්න බැරිකමට ලෝදිය හැළියට පනිනව වගේ වැඩක්. විසිටින් වීසා පැත්තකින් තිබ්බත් කොහොමටත් නන්නාඳුනන රටකට ගිහින් ආයෙමත් සැරයක් අලුතෙන් පැළවෙන්න මුල් අදින එක ඔය හීන ලෝකවල මවා පෙන්නන තරම් නම් කොහෙත්ම ලේසි පහසු කාරණාවක් වෙන්නෙ නෑ.

ලංකාවෙ ඉද්දී ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් උද්ධමනය නිසා රිම් එකෙන් ගියත් සමහරවිටෙක ඉලක්කම් පහක, හයක වැටුපක් අතට ගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් එතනින් එහාට ඔබ වෙන මහද්වීපෙක, වෙන සමුද්‍ර කලාපෙක ආපහු ජීවිතේ ගොඩයන මාර්ගේ හොයාගෙන යනවා නම් ඔබට එහෙදී පළමුවැනි වැටුප අතට ගන්න සිද්ධ වෙන්නේ හෝටලයක පිඟන් හෝදලා වෙන්න පුළුවන්. නැත්නම් සුපර් මාකට් එකක කැෂියර් කෙනෙක් විධියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එහේ පාරවල් අතුගාලා වෙන්නත් පුළුවන්. මොකද ඩිජිටල් තිරවලින් මවලා පෙන්නනවා වගේ පිටරට පාරවල්වල කානුු අයිනේ ඔබට ඇවිත් අරන් යන්න කියලා කවුරුවත් සල්ලි මලු විසි කරලා යන තරම් ප්‍රාතිහාර්යාත්මක දේවල් මේ රියල් ලෝකේ ඇතුළේ සිද්ධ වෙන්නෙ නෑ.

ඒ නිසා මේ කතාව කියන්නෙ පෝලිමට ගුවන් කරණම් ගහන්න ලෑස්ති වෙන ඔබේ කකුලෙන් අදින්න නෙවෙයි. දැනගෙන පනින්න කියන එක මතක් කරන්න. කොහොමටත් අපේ බහුතරයකට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ආරම්භක ශක්තිය ඕනෙවටත් වඩා වැඩියෙන් පිහිටලා තිබ්බත් පවත්වාගෙන යෑමේ ශක්තිය අතින් ගත්තොත් අපි ඉන්නෙ අන්තිම දුප්පත් තැනක. ඒ නිසා බහුතරයක් දෙනා ගුවන් කරණම් ගහන්න යන්නෙ පැරිෂුට් එක අදින්න ඕනෙ හරිම විනාඩිය මොකක්ද කියන එකවත් හරිහැටි නොදැන. ජීවිතේ අනා ගැනීම සහ දිනා ගැනීම කියන එක තීරණය වෙන්නේ එතනින්. ඔබ ඊළඟට ගොඩබහින්නේ කොතැනටද? එතන ඉඳන් ආයෙමත් ගොඩනැඟෙන්නෙ කොහොමද කියන එක ගැන ඔබට ප්ලෑන් එකක් තියෙන්නම ඕනෙ. ආපහු පඩිපෙලේ අන්තිමම පඩියේ ඉඳලා ජර්නි එක පටන් ගන්න ප්‍රමාණවත් ආත්ම ශක්තියක් ඔබට තියෙන්න ඕනෙ.

වීසා ගහගෙන ප්ලේන් එකට නැඟ ගත්තට පස්සේ සියල්ල සර්ව සම්පූර්ණ නොවෙන නිසා වැදගත් වෙන්නෙ පැන ගන්න එකම නෙවෙයි. පැන ගත්තට පස්සේ ඔබ එතනින් එහාට ක්‍රියාත්මක කරන සැලසුම මොකක්ද කියන එක. ඒ නිසා පෝලිමේ ඉන්න ගමන් මොළේට සමනල් ගැටේ වැටෙනතුරු හරි හිතන්න, පනින්න පෙර හිතන්න, හිතලා බලලම පනින්න!

අදට එච්චරයි. පනින්න පෙර හිතන්න කිව්ව නිසා පොඩි කතාවකුත් කියලම යන්නම්. දන්නවනේ නස්රුදීන්. ඔන්න නස්රුදීන් දවසක් ගෝණි දෙකක් දෙපැත්තෙන් ගැටගහපු බයිසිකලයක් තල්ලු කරගෙන දේශ සීමාවෙන් එහාට යන්න එනවා. නස්රුදීන්ගෙ ටිකිරි මොළේ තරම දන්න හින්දම එතන හිටිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියා නස්රුදින්ව නතර කරනවා.

අයිසේ නස්රුදීන් මොනවද මේ ගෝණිවල?

නස්රුදීන් ඔළුවත් කහ කහා උත්තර දෙනවා.

විශේෂ මොනාත් නෙවේ සර්, මේ කාන්තාරෙන් පුරවගත්තු වැලි. ගෝණි දෙකේ තිබ්බ වැලි ඇටයක් ගානෙමත් සෝදිසි කරලා නස්රුදීන්වත් ඉහේ ඉඳන් දෙපතුල් වෙනකන්ම සෝදිසි කරලත් කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණ තැන ආරක්ෂක කපොල්ලෙන් නස්රුදීන්ට යන්න අවසර හම්බවෙනවා.

එදා ඉඳන් හැමදාම දවස ගානේ නස්රුදීන් බයිසිකලේ හරහට බැඳගෙන දේශ සීමාව හරහා වැලි ගෝණි අරන් යනවා. ආරක්ෂක කපොල්ලෙනුත් ඇහිපිල්ලමක් ගානෙම හොඳ සෝදිසියක් දාලා මොනවත් හොයාගන්න බැරි තැන යන්න අරිනවා. නස්රුදීන්ගේ මේ වැලි ගෝණි විනෝදාංශෙ නතර වෙලත් සෑහෙන කාලෙකට පස්සෙ දවසක අර ආරක්ෂක කපොල්ලේ හිටිය නිලධාරියා අහම්බෙන් තැබෑරුමකදී නස්රුදීන්ව හම්බ වෙනවා.

“අයිසේ නස්රුදීන්, මං දන්නවා තමුසෙ දේශ සීමාව හරහා යන ගමන් මොනවහරි මගෝඩි වැඩක් කළාමයි කියලා. දැන් මම එතන ඩියුටි නැති නිසා කියනවකො. ඇත්තටම වැලි ගෝණිවල හංගගෙන මොනාද තමුන් අරන් ගියෙ?”

“නස්රුදීන් එදත් ඔළුව කස කසා උත්තර දෙනවා.”

“සර්ලට හොරෙන් හංගගෙන මං මොනවත් හොරෙන් අරන් ගියෙ නෑ සර්. පේන්නමනෙ අරන් ගියේ.”

“මොනවද? ”

“වෙන මොනවද සර්. බයිසිකල්! බයිසිකල්!”

ප්‍රහර්ෂි පෙරේරා