“PTA පනත ඉක්මනින් වෙනස් කරනවා” – අලි සබ්‍රි

0
158

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීම කඩිනමින් සිදු කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (සැප්. 5) විදේශ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන හා දේශපාලන සංවිධාන බොහෝමයක සාධාරණ විවේචන පදනම් කරගෙන මෙම නව වෙනස් කිරීම සිදු කරන බව ත් සබ්‍රි මහතා කීය.

ඒ අනුව, මේ නව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කරුණු ඉදිරිපත් කරන බවත් යුද අපරාධ හා අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීමටත් මේ සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයකට යොමුවන බවත් සබ්‍රි මහතා පැවසීය.

ජාතික සංහිඳියාව සඳහා දීර්ඝකාලීන විසඳුම් සොයමින් සිටින අවස්ථාවක හා රටේ දැවැන්ත අර්බුද රාශියකින් අනතුරුව මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගි වන්නට කිසිදු පැකිලීමක් නොමැති බවත් හෙතෙම කීය.

රටේ අති බහුතරයක් ජනතාව පවතින තත්ත්වයට විරෝධය දැක්වීම සාධාරණ බවත් ඒ සඳහා විවිධ හේතු සාධක බලපෑ අතර එහි ජයග්‍රහණයේ ලකුණු සාමකාමී අරගලකරුවන්ට හිමිවිය යුතු බවත් ඔහු පැවසීය. එසේ ම ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් නැවත නැගී සිටීමට හා ආර්ථිකය යළි ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉෂ්ට කරන බවත් අනාගතයේදී සුරක්ෂිත තිරසර ආර්ථික ක්‍රමවේදයක් සකස් කරන බව ත් හෙතෙම කීය.

මේ වන විට අයි. එම්. එෆ්. ණය ආධාර සඳහා පළමු පියවර තබා ඇති අතර ඒ සඳහා ජපානය, චීනය, ඉන්දියාව හා පැරිස් ක්ලබ් ඇතුළු සියලු රටවල් මේ සඳහා සහයෝගය ලබා දෙන බව ත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවර සඳහා ද සහතික වීමක් ලබාදී ඇති බව ත් ඔහු පැවසීය.

පවතින අභියෝග හමුවේ රටක් විදිහට අය කරන බදු මුදල් ප්‍රමාණය ඉතා අඩු නමුත් ඊට සාපේක්ෂව සිදුවන වියදම් වැඩිවීම නිසා දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

මෙයට විසඳුමක් ලෙස පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය බව ත් බදු ගෙවීමට හැකි ජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමට නව ක්‍රමවේදයක් සකස් කරන බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.