JUST IN: කුරුණෑගලදී සිසුවෙකු කාණුවකට වැටී මිය යාමට වගකිය යුත්තන්ට වැඩ වරදින ලකුණු

0
330

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාණුවකට ඇද වැටී 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු mawbima.lk වෙත ප්‍රකාශ කළේ, ඊට අදාළ පාර්ශව කැඳවා විමර්ශනයක් පවත්වන බව ය.

ඊයේ (සැප්. 5) දහවල් 2.00ට පමණ පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවස වෙත යමින් සිටි අදාළ සිසුවා මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩ දීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩ වන විට ඔහුගේ පය ලිස්සා ඒ තුළට ඇද වැටී ඇති බව වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශ වාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා එම පාසල් සිසුවා ගොඩට ගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කාණුවේ කොන්ක්‍රීට් තට්ටු ඉවත් කර සිසුවා ගොඩ ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු බරපතළ තත්ත්වයේ සිටි බව ය.

මුදා ගැනීමෙන් පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබිණි.