PTA පනතට එරෙහිව යුරෝපා සංගමයටත් පැමිණිල්ලක්

0
346

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසමින් රටේ විසංවාදය මැඩලීමට කටයුතු කරන බව දන්වා ‘යුරෝපයේ වෙසෙන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය’ යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිසම වෙත විවෘත ලිපියක් යොමු කර ඇත.

පසුගිය මැයි 9 සිද්ධියේදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ සිට පොලු මුගුරු රැගෙන පැමිණ නිරායුධ විරෝධතාකරුවනට පහර දුන් කිසිවෙකු අත්අඩංගුවෙහි රඳවාගෙන නැති බව ද එම සංගමය මෙහිදී අවධාරණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා සිටීම, ශ්‍රී ලංකාණ්ඩුව විසින් 2017 වසරෙහිදී ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීම පිණිස දෙන ලද පොරොන්දුව කඩ කිරීමක් බව එම සංගමය සඳහන් කර ඇත.

එම ලිපියෙහි මෙසේ ද සඳහන් වේ.

“අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි යන විරෝධතාකරුවන් තිදෙනා අගෝස්තු මස 22 දින සිට එලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටී. මේ වන විට 3,500කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් බහුතරයක් ඇප මත මුදා හැර ඇත. 1,500කට වැඩි පිරිසක් තවමත් අත්අඩංගුවෙහි තබාගෙන සිටී.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට අවිචාරශීලී අත්තනෝමතික ප්‍රතිපත්ති මඟින් ඇද දැමූ පාලකයන්ට එරෙහිව තරුණ ජනයා විසින් දියත් කළ සාමකාමී අවිහිංසාවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මඟින් විනාශ කිරීමට උත්සාහ කිරීමට ඍජුවම රාජපක්ෂ පවුල් පාලනය වගකිව යුතු ය.

මහින්ද රාජපක්ෂ අගමැති නිල නිවසේ සිට පොලු මුගුරු ගත් මැර හමුදාවක් පසුගිය මැයි 9 දා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආයුධ සන්නද්ධ යුද්ධ හමුදා පිරිස් ජූලි 22 දින ද සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව උසිගන්වන ලදී. එනමුත් එම අනීතික ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ලංකාණ්ඩුව මේ තාක් ගෙන නැත.

ශ්‍’රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් අනුමත නොකරයි. ආණ්ඩු පාක්ෂිකයන්ට විරුද්ධව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා, ආණ්ඩුව විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩත්වයට එරෙහි ස්වයං සිද්ධ ප්‍රහාරයන් බව සඳහන් කළ යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන විසංවාදය මැඩලීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වන ලෙසත්, ප්‍රචණ්ඩ ක්‍රියා උසිගැන්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සියල්ලන්ට විරුද්ධව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතා දැක්වීම් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නොසලකන ලෙසත් ශ්‍රී ලංකාණ්ඩුවට දන්වන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය’ යුරෝපා සංගමයෙන් සහ යුරෝපීය කොමිසමෙන් ඉල්ලා සිටී.

තව ද එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වන සැසිවාරයේදී මෙම කරුණ ඉස්මතු කිරීමට පියවර ගන්නා ලෙසත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය’ වැඩිදුරටත් ඉල්ලා සිටී.”