පාපැදි හා යතුරුපැදි සොරකමේ ගිය කුඩ්ඩා අල්ලයි

0
7

අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ විවිධ ප්‍රදේශවල සොරකම් හා අපරාධවලට සම්බන්ධ සැකකරුවකු පොල්ගහවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගහවෙල පොලිස් වසමට අයත් මැටිකුඹුර ප්‍රදේශයේදී පාපැදියක් සොරකම් කිරීමට යෑමේදී ගම්වාසීන් විසින් සැකකරු පොලිසියට භාර දී ඇත. ඒ මොහොතේ සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 6150ක් තිබී සොයාගත් බවත් රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලදී   අලව්ව, පොල්ගහවෙල, නාරම්මල, පොතුහැර පොලිස් ප්‍රදේශවලදී යතුරුපැදි හා පාපැදි මෙන්ම නිවාස කොල්ලකෑම් අනාවරණය කරගෙන ඇති බවත් එසේ සොරාගත් යතුරුපැදි 03ක් පාපැදි 02ක් නාරම්මල, හොරොම්බාව ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබියදී පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවැසීය. 

අත්අඩංගුවට ගත් සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පමණ අයකු බවද දිනකට රුපියල් 8,000ක පමණ හෙරොයින් පානය කරන සොරකම් රැසකට සම්බන්ධ නඩු 13ක් ඇති නමගිය අපරාධකරුවකු බව පොලිසිය පවසයි. සැකකරු 01 වැනිදා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන අජිත් රත්නායක, කුලවංශ, පො.සැ. විජේරත්න (49208), බණ්ඩාර (56413), ලලිත් (66372), ආරියතිලක (52528), මහින්ද (45472), පො.කො. අචින්ත (99757) යන නිලධාරීන් සැකකරු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගහවෙල _ ඩිමේෂ් අධිකාරි