පපුවෙ හිලක් කියලා කියන්නේ පැනලා යන්න හදන සැලසුමක් විතරයි

0
64

අමාරුම දේ ගියාට පස්සේ හිත හදාගන්න එක නෙමෙයි. ගියේ ඇයි මොකද වුණේ, කියලා වගේ මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර බඳින එක. අපේ ගෙදරින් බේ්‍රකප් එකට හේතුව අහනකොට මට දෙන්න උත්තරයක් ඇත්තටම තිබුණේ නැහැ. මොකද මම මේක නවතින්න හේතුව ඇත්තටම දන්නේ නැහැ. හරිම හේතුව හොයන්න නම් CID එකෙන් දාලා වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා.

සීරුවට ඉර ගිලෙන තද කහ පාට හැන්දෑවක මවුන්ට් ලැවීනියා වෙරළ තීරයේ ඉඳලා ඇය නැවතීමක් නැතුව කියවගෙන ගියා. ඇය සමඟ සංවාදයේ යෙදෙනවාට වඩා ඇයගේ බරපතළ විස්තර කිරීම්වලට ප්‍රතිඋත්තර සපයනවාට වඩා මගේ කාර්යභාරය වුණේ ඇයට ඇහුම්කන් දෙන එක. මම හොඳ සවන්දෙන්නෙක් වීම නිසාත් කතා කරනවාට වඩා ඇගේ කතාව අසා සිටීම තෘප්තිය වඩවන නිසාත් ඇයට ඇයගේ හිත මා ඉදිරියේ පූර්ණ ලෙස නිදහස් කර ගන්න පුළුවන් වුණා.

“ඇත්තටම බේ්‍රකප් එකකට පස්සේ එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා හොයන එක සාර්ථක නෑ. එහෙම වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන එකත් එතිකල් නෑ”

ඇයගේ දීර්ඝ වචන හරඹයට පස්සේ මම කෙටියෙන් මගේ අදහස ප්‍රකාශ කළා.

මම හිතන්නේ කුමන හෝ ආකාරයකින් ප්‍රේමය අහිමිවීමෙන් පස්සේ එහෙම අහිමි වෙන්න හේතුව මොකක්ද කියලා අහන එක, මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ප්‍රශ්න කරන එක සදාචාරසම්පන්න නැහැ. තනි වෙන්න හේතුව මේකයි. හැරයන්න හේතුව මේකයි කියලා කතානායකයන් සුලමුලක් නැති හේතු දැක්වීම් ඉදිරිපත් කළත් ඒ කිසිවක් සෑමවිටම නිවැරැදි වෙන්නේත් නැහැ. හැර යන වෙලාවට දහසක් දේවල් කියමින් හැර යන්නා පැන යන්නට උත්සාහ කළත් ඔහුට හෝ ඇයටත් එහෙම කරන්නට හේතුව නිවැරැදිව තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි අතිශය ප්‍රේමණීය මට්ටමේ සම්බන්ධතා දෙකඩ වෙනකොට මුලින්ම යන කෙනා අර්ථ විරහිත හේතු සාධක රාශියක් ඉදිරිපත් කරන්නේ ඒ නිසා තමයි. ඔයාගේ ගේ ළඟ ලයිට් කණුවෙ ලයිට් එක නෑ. මගේ පපුවෙ හිලක් නිසා මට කසාද බදින්න බෑ. මට මහණ වෙන්න වුවමනා නිසා අෆෙයාර් එකක් ගෙනියන්න බැහැ. වගේ කරුණු කාරණා මත වුණත් දීර්ඝකාලීන යැයි නාමනය කළ ප්‍රේමණීය ගිවිසුම් අවලංගු වෙන්නේ.

ගොඩක් වෙලාවට සම්බන්ධතාවක් දෙකඩ වෙන වෙලාවට අතහරින්න හේතුව මේකයි, හැරයන්න හේතුව මේකයි කියලා ඉදිරිපත් කරන කරුණු ඇත්ත ඒවා නෙමෙයි, ඒවා බොහොමයක් පදනම් විරහිත ඇඟ බේරා ගැනීමේ මාදිලියේ උත්තර බැඳීම් විතරයි, තමාව නිවැරදි කිරීම පිණිස සහ අදාළ තීරණාත්මක අවස්ථාව සමථයට පත් කිරීම උදෙසා මිනිස්සු ගොඩනඟන පදනම් විරහිත අත්තිවාරම් පමණයි. පැය විසිහතර පුරාම ආදරයෙන් වෙළෙමින් ඉන්දියන් ටෙලි කතාවක ඇති මාත්‍රාවටත් වඩා ප්‍රේමය වගුරන කපල් අවසානයේදී ආදරය මදි කියලා විරහව වැලඳගන්නේ ඇත්තටම ආදරය මදි නිසා නෙමෙයි. පළමු බැල්මෙන්ම ආකර්ෂණයේ පතුළටම කිමිදිලා ලෝකයේ ඉන්න ලස්සනම කෙල්ල ඔයා. ලෝකයේ ඉන්න ලස්සනම කොල්ලා ඔයා කියලා තමන්ගේ සහකරුවාව වැලඳගත්ත අය පවා දාලා යනකොට පෙනුම නොගැළපෙන බවට කරුණු ඉදිරිපත් කරන්නේ ඇත්තටම පෙනුමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. බොහොමයක් සම්බන්ධතාවල බිඳවැටීම්වලට හේතුසාධක වෙන්නේ ඔවුන් අවසානයේ මෙය යැයි හ¾දුනාගන්නා තනි හේතුව නෙමෙයි. ඒ බිඳවැටීමට, ඒ අවලංගු වීමට අදාළ අවසාන හේතුව නිර්මාණය වෙන්න කාලයක් තිස්සේ සිදුවුණු සිදුවීම් සිය ගණනක හේතු බලපානවා කාලයක් තිස්සේ අංශු මාත්‍රය බැගින් එකතු වෙන විසවල ප්‍රතිඵලයක් විධියට සුවකළ නොහැකි අවසාන තුවාලය නිර්මාණය වෙනවා.

එක ක්ෂණයකින් ප්‍රේමය ඇතිවෙන්න පුළුවන් වුණාට එක ඇසිල්ලකින් ආදරය පිළිබඳ හැඟීමෙන් සිත පිරෙන්නට පුළුවන් වුණාට ප්‍රේමයක් දෙකඩ වෙන්න, සම්බන්ධතාවක් සුනුවිසුනු වෙන්න යම් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. වෙන් වෙන්නට අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ වෙන්න ක්ෂණයන් දහස් ගණනක් වැය වෙනවා. එකවර සිදුවුණු හදිසි අනතුරුවලින් ප්‍රේමය රෝහල්ගත වන්නට ඉඩකඩ තිබුණත් එහි මියැදීම දෛනිකව සිදුවුණු කුඩා තුවාල උඩු දිවීම මඟින් සිද්ධ වෙනවා. ප්‍රේමය ඇක්සිඩන්ට්වලට පස්සේ මියැදෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ රෝගාතුර වීමෙන් ප්‍රේමය මියැදෙනවා. පරණ තුවාල සුව නොවීමෙන් ප්‍රේමය මියැදෙනවා. කාලයක් තිස්සේ රෝගයට අවශ්‍ය සේලයින් එන්නත් නොලැබීමෙන් ප්‍රේමය මියැදෙනවා.

සහකරුවන් දෙදෙනෙක් අතර මේ මොහොතේ සිදුවන කුඩා හිත් රිදීමක් තව සුළු මොහොතකින් නැවතත් යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන්. හැඟීම් පුරවන ලද හග් එකකින් බැඳීම් එන්නත් කරන ලද කිස් එකකින් සිය අමනාපකම් හිත් රිදීම් අමතක වෙලා යන්න පුළුවන්. නමුත් ඔය කුඩා හිත් රිදීම හෙටත් වුණොත් අනිද්දත් වුණොත් පුරුද්දක් විධියට සතිපතා වෙන්න ගත්තොත් ඔවුන්ට නොදැනුවත්වම කාලානුරූපීව ප්‍රේමය පලුදු වීම ආරම්භ වෙනවා දෛනිකව වෙන කුඩා තුවාල මහා පරිමාණ පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ එක් නොදන්නා මොහොතක අනපේක්ෂිත විධියට ඔවුන්ගේ ප්‍රේමය නැවතීමේ තිත ස්පර්ශ කරනවා.

ඒක එහෙම වෙනකොට අවසානයේ හැර යන්නට හේතුව මේක, තනි වෙන්නට හේතුව මේක කියලා පෙම්වතුන් ගොනු කර ගන්නා හේතු සැබෑ ඒවා නොවන බව පැහැදිලි වෙනවා. පදු වීම් දහස් ගණනක් එක්ව එකට මුණගැහෙන වේදනාත්මකම කලාපයේදී ගැහැනු, පිරිමින්ව දාලා යනවා කුඩා තුවාල සිය ගණනක් එකව එකට වර්ධනය වෙලා සුව නොවන තුවාලය නිර්මාණය වෙන තැනදී පිරිමි ගැහැනුන්ට බූට් තියෙනවා හැර යන්නට හේතුව තමන්ටවත් හරියට තේරුම් ගත නොහැකි තැනදී ගැහැනු මගේ පපුවේ හිලක් කියලා බොහොම ස්ථිර විධියට කියනවා. පැනයන්නට හේතුව තමන්වත් හරියට නොදන්නා අවකාශයේදී පිරිමි මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බෙයි කියලා නිදහසට කරුණු එකතු කරගන්නවා.

ඇත්තටම බේ්‍රකප් එකකට පස්සේ එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා හොයන එක සාර්ථක නෑ. එහෙම වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන එකත් එතිකල් නෑ. මොකද එහෙම හේතුවක් හැදෙන්න තවත් නොදන්නා හේතු සිය ගණනක් බලපානවා. දෛනික කුඩා තුවාල මහා පිළිල නිර්මාණය කරනවා. අංශුමය පදුවීම් මහා වෙන්වීම්වලට පාර කපනවා.