උපාධිධාරීන් 500ක් පමණ පාසල්වල වැසිකිළි හා කානු සුද්ධ කරනවා

0
21

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ 500ක් පමණ උෟන සේවා උපාධිධාරීන් මේ වන විටද වැසිකිළි, කැසිකිළි හෝදමින්, කානු පද්ධති සුද්ධ පවිත්‍ර කරමින් ඉතාමත් දුක්ඛිත ආකාරයෙන් රාජකාරි සිදු කරමින් සිටින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න පැවැසුවේ සමස්ත ජාතික හා පළාත් සභා පාසල් පද්ධතිය තුළ මෙම උපාධිධාරීන් මෙසේ කම්කරු සේවාවන්හි නිරත වන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ඒ මහතා මෙසේ පැවැසීය.

සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ උෟන  සේවා අනධ්‍යයන තනතුරුධාරි උපාධිධාරීන් 500ක් පමණ පිරිසක් සිය අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන පත්වීමක් අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් සිට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා යන ගමනේදී සුදුස්සන්ට සුදුසු තැන හිමිවිය යුතු බව සෑම රජයක්ම පුන පුනා කීවද එම වචන හරඹයන්ට පමණක් සීමා වූ පොරොන්දු තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව තව තවත් දුර්වල තත්ත්වයකට මෙමඟින් ඇද දමා තිබේ.

මෙම උපාධිධාරීන් කණ්ඩායම සිය උපාධියට සරිලන රැකියාවක නිරත වීමට නොහැකිවීමෙන් දැඩි මානසික පීඩනයකට මෙන්ම සේවා අතෘප්තියටද පත්ව සිටී. එබැවින් සියලුම උෟන සේවා අනධ්‍යයන තනතුරුධාරීන් වෙත ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන පත්වීම් ප්‍රදානය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

මහනුවර – කේ. එල්. සුරවීර