ඉන්දියාවේ සිටින සරණාගත ශ්‍රී  ලාංකිකයන් ගෙන්වාගන්න කමිටුවක්

0
11

යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී  ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු කර කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශ නියෝජනය වන සේ පත්කර තිබේ.

යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී  ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා පිහිටුවා ඇති ‘ඊලාම් සරණාගතයන් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ’ (OFERR‍) ඉල්ලීම පරිදි පිහිටුවා ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05දා) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී   ලාංකිකයන් 58,000ක් පමණ මේ වනවිට සරණාගතයන් ලෙස රැඳී සිටින අතර එම පිරිස අතරින් 3,800ක් පමණ ශ්‍රී  ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බව එම නිවේදනයෙහි දක්වා ඇත.

මේ වෙනුවෙන් චෙන්නායිහි පිහිටි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට නියමිත බවද නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සඳුනි ගමාරච්චි