රිවෝල්වරයේ හිමිකරු සොයා පරීක්‍ෂණ

0
14

කෑගල්ල, කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලයේදී තරුණියක ඝාතනය කිරීමට යොදාගෙන තිබුණු රිවෝල්වරය කාගේද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය ඊයේ (04දා) පැවැසීය. මිලිමීටර් 38 යුත් මෙම රිවෝල්වරයට උණ්ඩ 6ක් යෙදිය හැකි අතර එය විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියකි.  මෙම ගිනි අවිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් හෝ වෙනත් ගිනි අවි නිකුත් කරන ආයතනයකින් නිකුත් කර ඇද්දැයි සොයා බැලීමට අදාළ අංශ වෙත ලිඛිතව දන්වා වාර්තා ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයිද පොලිසිය පැවැසීය.

ඉකුත් 01 වැනිදා සමගි ජන බලවේගයේ කෑගල්ල, කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී කෑගල්ල, හබුදුගල පදිංචිව සිටි අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි අවිවාහක තරුණිය ඇඳක් මතදී ඝාතනයට ලක්ව තිබුණි. මෙම තරුණියගේ දකුණු අත ආසන්නයේ තිබී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර් 38 වර්ගයේ රිවෝල්වරය පොලිසිය මඟින් සොයාගෙන තිබිණි. එම රිවෝල්වරයට උණ්ඩ 6ක් යෙදිය හැකි බවත් පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී උණ්ඩ 3ක් සමඟ හිස් කොපුවක් පොලිසිය මඟින් සොයාගෙන තිබිණි. මෙම ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක හිටපු කෑගල්ල නාගරික මන්ත්‍රි ලක්ෂ්මන් දිසානායක නමැත්තා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් රිවෝල්වරය තමාගේ එකක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ප්‍රකාශ කර තිබේ. ඔහු කරන ලද ප්‍රකාශය මත රිවෝල්වරය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන කටයුතු සිදුකරන බවද පැවැසීය.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් ගිනි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.  

දමුණුපොළ – චමින්ද ජයලත්