රනිල්ගේ වාහනයේ මිලයි පාන් ගෙඩියේ මිලයි අනුර සසඳයි

0
28

ජනාධිපති රනිල්ගේ වාහනයේ අලාභහානිය දහනව කෝටි දසලක්ෂයක් නම් වාහනයේ වටිනාකම කොපමණක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට අලාභ හානි කිරීමෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 205ක් බවත් ඉන් මිලියන 14ක් නිවෙසට අලාභ හානි වී ඇති අතර  ඉතිරි මිලියන 191ම වාහනයට වූ අලාභහානි බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

රුපියල් මිලියන 191ක් වාහනයේ අලාභ හානිය නම් වාහනයේ වටිනාකම කොපමණක් දැයි දිසානායක මහතා ප්‍රශ්න කරයි.

රටේ ජනතාවට අද වනවිට පාන් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් තුන්සීයට විතර. එහෙම රටක ජනාධිපතිවරයාගේ වාහනයක වටිනාකම කොච්චරක්ද? මේ සංවේදී මිනිස්සු දැයි  දිසානායක මහතා ප්‍රශ්න කළේය.

“රනිල් කියනවා වැඩ කරන්නේ නැති රාජ්‍ය සේවකයො ගෙදර යන්නලු. හැබැයි රනිල්ගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය කීයද?  අධ්‍යක්ෂ මාධ්‍ය උපදේශක, මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, මාධ්‍ය අධ්‍යක්ෂවරු, වීඩියෝ සංස්කරණ අධ්‍යක්ෂවරු, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරු, නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂවරු මේ වගේ කී දෙනෙක් අද පත් කරලා තියනවද. වැටුප ලක්ෂයයි, අසූ දාහයි. තෙලුයි වාහනයි එක්ක. 

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන්න ඕනෑ  මේ ගොල්ලෝ කරන රාජකාරිය මොකක්ද කියලා. මෙපමණ ප්‍රමාණයක් ජනාධිපති කෙනකුට අවශ්‍යද? පසුගියදා රනිල්ගේ ගෙදරට වුණු අලාභය ගැන සී.අයි.ඩී. වාර්තාවක් ඉදිරිපත් කළා. ගෙදරටයි  වාහනයටයි මිලියන 205ක අලාභයක්  වෙලා කියනවා. ගෙදරට වෙලා තියන අලාභය  මිලියන 14යි. මිලියන 191ක් වාහනේට අලාභ වෙලා. ඒ කියන්නේ දහනව කෝටි දස ලක්ෂයක් පමණ වාහනයේ අලාභය. එතකොට වාහනේ මිල කොච්චරක්ද? එහෙව් කෙනෙක් අද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කතා කරන්නේ යැයිද හෙතෙම පැවැසීය.

අනුරාධා හේරත්