මුහුණුපොතින් හඳුනාගත් කට්ටඩියා ලක්ෂ 3ක මාලයක් උස්සලා

0
12

ගුරුකම් කිරීම හා අසනීප සුව කරන බවට මුහුණු පොත (facebook) හරහා දැන්වීමක් පළ කොට ඒ හරහා හඳුනාගත් පස්සර පරගොල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ නිවෙසට අසනීප සුව කිරීමට පැමිණි  පුද්ගලයකු එහි සිටි අසනීප වූ කාන්තාවගේ දියණියගේ රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා රන් මාලයක් හා රුපියල් හතළිස් දහසක වටිනාකමකින් යුත් ජංගම දුරකථනය සොරකම් කර පලා ගොස් සැඟවී සිටියදී පසුගිය 3 දින  අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පැවැසීය.

තම බිරියගේ මවට වැලඳී ඇති අසනීප තත්ත්වයකට ප්‍රතිකාර සඳහා ඇදුරකු  ඇයගේ ස්වාමිපුරුෂයා විසින් මුහුණුපොත හරහා හඳුනාගෙන ඇති අතර ඉන් පසුව මෙම පුද්ගලයා විසින් ප්‍රතිකාර කිරීමට පැමිණෙන බව පවසා ඇයගෙන් මුලින්ම රුපියල් 18,500ක මුදලක් සැකකරුගේ බැංකු ගිණුමට බැර කර ගෙන ඇත.

ගුරුකමට බව පවසා  පැමිණි සැකකරු ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර මුලින්ම තමා පැලඳ සිටි මුදු 3ක් (ව්‍යාජ ස්වර්ණාභරණ) ගලවා මේසය මත තබමින්  මේවා ගුරුකමේදී අකැප යැයි පවසා සිටි බැවින් මෙම කාන්තාවගේ දියණිය ද ඇයගේ ගෙල බැඳි පවුම් දෙකහමාරක් වූ රත්රන් මාලය ගලවා ජංගම දුරකථනයද සමඟින්  ශීතකරණය උඩින් තබා ඇති බවද වාර්තාවේ.

පසුව මෙම 74 හැවිරිදි කාන්තාවට ප්‍රතිකාර කිරීම සැකකරු විසින් ආරම්භ කර අවශ්‍ය කළමනා අඩුපාඩු විටින් විට පවසමින් ඒවා රැගෙන ඒමට අසනීපව සිටින කාන්තාවගේ දියණිය අවස්ථා කිහිපයකදීම මුළුතැන්ගෙයට හා නිවෙසේ වෙනත් ස්ථාන වෙත යවා ඇත. ඊට මඳ වේලාවකට පසුව  පූජාව සඳහා තවත් කළමනා කිහිපයක් අවශ්‍ය බැවින් ඒවා බදුල්ලෙන් මිලදී ගෙන එන්නම් කියා සැකකරු  නිවෙසින් පිටව ගොස් ඇත.

 එලෙස ගොස් පැය තුන හතරක් ගියද සැකකරු නැවත නොපැමිණීම නිසා විමසිලිමත් වෙද්දි  ශීතකරණය මත තබා තිබූ  තමාගේ රන්මාලය සහ  රුපියල් 40,000ක් වටිනා දුරකථනය එම ස්ථානයේ නොතිබූ බැවින් එම පුද්ගලයා විසින් ඒවාද රැගෙන පලාගොස් ගොස් ඇති බව දැන ගත්තේ යැයිද එම දියණිය විසින් කරන ලද පැමි‍ණිල්ලේ සඳහන් වූ බව පොලිසිය පැවැසීය.

ඒ අනුව ත්‍රිකුණාමලය පොලිසියේ සහාය ඇතිව කළ විමර්ශනවලින් පසු අදාළ හෝටලයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත්  ඔහු දින 21ක් තිස්සේ එම හෝටලයේ ඔහුගේ දරුවා සහ බිරිය සමඟ නැවතී සිට රෝගීන්ට, ප්‍රතිකාර ලබාදිය හැකි බව මුහුණපොත හරහා පෙන්වමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මෙම කූට ජාවාරම කරගෙන ගොස් ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු  කල්මුනේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකි.

බදුල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල  හා සහකාර පොලිස් අධිකාරි (පස්සර) දිලීප සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. පියරත්න මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක ගීත් රත්නායක සහ පො.සැ. නිරංජන් (39315) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති. සැකකරු ඊයේ (4දා)  බදුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බදුල්ලේ _ නිශාන්ත අබේගුණවර්ධන