කාටවත් බරක් නොවී තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගමුද?

0
71

රටේ සාර්ව ආර්ථිකය නිරෝගී කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලබාදෙන්නේ මහඟු දායකත්වයක්. එය හරියට පුද්ගලයකු නිරෝගීව තබාගැනීමට පුංචි කාලයේ ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් වගේ. රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී සහ එය කඩාවැටෙන සෑම අවස්ථාවකම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මඟින් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්. ස්වයං රැකියා කියන්නේ මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ගණයට වැටෙන එක් කොටසක්.

අද බොහෝ දෙනා පාසල් අධ්‍යාපනය හමාර කරමින් උසස් අධ්‍යාපන සඳහා යොමුවීම හෝ රැකියාගත වීම සිදු කරනවා. එහිදී තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කිරීම සඳහා යොමුවන්නේ බොහොම ටික දෙනයි. ගොඩක් අය සිද්ධ කරන්නේ ප්‍රධානියෙක් යටතේ රැකියාවක් කිරීම, කුලී වැඩක් කිරීම, ත්‍රීවීල් එකක් හයර් කිරීම වගේ දේවල්. නමුත් යම් කෙනෙක් තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න සිතනවා නම් ඔහු හෝ ඇය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පුරවැසියෙක් කියලා පැවැසුවට වැරැදි නැහැ.

අද රටේ තිබෙන තත්ත්වයත් සමඟ රැකියාවක් සොයාගැනීම කියන්නේ අති දුෂ්කර කාර්යයක්. ඒ වගේම කුමක් හෝ ආදායම් මාර්ගයක් සොයා ගැනීම කියන්නෙත් එතරම්ම පහසු දෙයක් නම් නොවෙයි. රැකියා විරහිත ඔබට කරන්න පුළුවන් හොඳම විසඳුම ස්වයං රැකියාව කියලා අප කියන්නෙ නැහැ. නමුත් අපහසුවෙන් හෝ එවැනි දෙයකට යොමුවීම නිෂ්ඵල දෙයක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ඔබට කරන්න පුළුවන් ස්වයං රැකියා මොනවාද? එහිදී පැනනඟින ගැටලු මොනවද කියලා.

ස්වයං රැකියා ගැන කතා කිරීමේදී අපට කළ හැකි විවිධ ස්වයං රැකියා වර්ග තිබෙනවා. පහන්තිර ඇඹරීම, හඳුන්කූරු නිෂ්පාදනය, බතික් කර්මාන්තය, විවිධ අත්කම් නිර්මාණ, ඇඳුම් මැසීම, බෝනික්කෝ සෑදීම, පොල්කටු නිර්මාණ, මල් පැළ, මල් සහ පෝච්චි නිෂ්පාදනය වගේ ස්වයං රැකියා ගැන ඔබ අසා ඇති. ඇතැම් විට ඔබ මෙවැනි ව්‍යාපාරයක දැනටමත් නිරත වෙනවා වන්නටත් පුළුවන්. එම නිසා ඒ ගැන වැඩියමක් සාකච්ඡා නොකර ස්වයං රැකියා සම්බන්ධව තිබෙන නව ප්‍රවණතා කිහිපයක් ගැන කතා කිරීම වඩා ඵලදායි වෙයි කියලා සිතනවා.

ඉන් එකක් තමයි එළවළු විජලනය කිරීම. එළවළු විජලනය කොට අලෙවි කිරීම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළද ඉලක්ක කරගනිමින් බොහොම  පහසුවෙන් සිදුකරන්න පුළුවන් ස්වයං රැකියාවක්. මේ සඳහා යන්ත්‍ර අවශ්‍ය වෙනවා. නමුත් සුළු පරිමාණයෙන් වුවත් සිදුකරන්නට පුළුවන්. තත්ත්වයෙන් උසස් එළවළු තෝරාගෙන, ඒවා පිරිසුදු කොට, සමාන කැබලිවලට කපා, බ්ලාන්ජ් කරගන්නට (ආහාරවල තිබෙන එන්සයිම ඉවත් කරගැනීම) ඕනෑ. ඒ සඳහා ඔබට තීමරයක් අවශ්‍ය වෙනවා. ඉන්පසුව විජලන යන්ත්‍රයට දමා අදාළ ක්‍රියාපටිපාටියට එළවළු සහ පලතුරු විජලනය කර ඇසුරුම් කොට වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්.

ඇතැම් විට මෙය කියවන ඔබට මෙය සිදුකරන්නේ කොහොමද කියලා අදහසක් නොමැති වන්නට පුළුවන්. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන මණ්ඩලය මඟින්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හෝ සෑම දිස්ත්‍රික් කාර්යාලයකම ඇති එහි කාර්යාල මඟින් මේ සඳහා අවශ්‍ය පුහුණුව, උපදේශනය සහ අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගන්නට පුළුවන්.

මුරුංගා ගස් කියන්නේ අපේ ගම්බද ප්‍රදේශවල ඉනිවැටවල්වලටත් යොදාගන්නා ශාකයක්. මුරුංගා ඒ තරම් සුලබයි. ඒ වගේම මුරුංගා කරල් සහ මුරුංගා දලු ආහාරයටත් වඩාත් සුදුසු ඔෟෂධීය දෙයක් විධියට හඳුන්වන්න පුළුවන්. ඔබ නොදන්නවා වුණත් මුරුංගා දලු මඟින් මුදල් සොයන්නත් පුළුවන්. මුරුංගා දලු සහ කොළ පවුඩර් මඟින් හදන තේ කියන්නේ මෙරට පමණක් නොව විදේශ රටවලත් හොඳ ඉල්ලුමක් තිබෙන නිෂ්පාදනයක් විධියට අද වනවිට පත්වෙලා තිබෙනවා. මුරුංගා දලු සහ කොළ හොඳින් පිරිසුදු කර වියළා එය කුඩුකර පවුඩර් එකක් වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නට පුළුවන්.

පොල්ලෙලි කොටස් කෑලි කපලා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමත් හොඳ ස්වයං රැකියාවක්. පොල් ලෙලි ඔබට පහසුවෙන් සපයා ගන්නටත් හැකි නිසා එය කාන්තාවකට පහසුවෙන් සිදුකරන්නට පුළුවන්. ඒ වගේම අභ්‍යාස පොත්, කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පුහුණුව සහ උපදේශනය කුඩා ව්‍යාපාර සංවර්ධන මණ්ඩලය මඟින් ලබාදෙනවා. ඔබට ඒ සඳහා ඇති වැඩමුළුවලට සහභාගි වෙලා අවශ්‍ය දැනුම ලබාගෙන ස්වයං රැකියාවක් විධියට එය සිදු කරන්න පුළුවන්. ඊට අමතරව ඔරිගාමී නිෂ්පාදන, දේශීය කලාත්මක නිර්මාණ (අත්කම් නිර්මාණ, පොල් කටු කීටැග්, ලංකාවේ සුන්දර තැන් සිතුවම් කිරීම) ආදී ඕනෑම ආකාරයක ස්වයං රැකියාවක් වුණත් සිදු කරන්නට පුළුවන්.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භයේදී ඇතිවන ගැටලු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් එන ප්‍රධාන ගැටලුවක් තමයි මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම කියන්නේ. ඉතින් ඒ සඳහා ඔබට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හෝ කුඩා ව්‍යාපාර සංවර්ධනය කිරීමේ මණ්ඩලය සම්බන්ධ කරගනිමින් ණය යෝජනා ක්‍රමයක් මඟින් ඒ ගැටලුව විසඳාගන්න පුළුවන්. 6%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබාදෙන ශක්ති ණය යෝජනා ක්‍රමය, අපේක්ෂා ණය යෝජනා ක්‍රමය, පශු සම්පත් ව්‍යාපෘති, විදේශ ණය (විදේශගත වීමට සීමාකම් ඇති කාන්තාවන් සඳහා ලබාදෙන ණය) ආදී ණය ව්‍යාපෘති මඟින් මූලික ප්‍රාග්ධනය සපයා ගන්නට ඔබට හැකියාව තිබෙනවා.

ඒ වගේම පුහුණු සහ උපදේශන සේවා, ආදායම් උත්පාදන මාර්ග, පුහුණු කිරීමේ වැඩසටහන් සහ තවත් බොහෝ සේවාවන් රැසක් ඔබට මෙම ආයතන මඟින් ලබාගන්නට පුළුවන්. කාන්තාවකට ස්වයං රැකියාවක නිරත වීමට තිබෙන බාධාවන් කිහිපයක් ගැනත් සාකච්ඡා කිරීම හොඳයි කියලා අප සිතනවා. එහිදී පැනනඟින ප්‍රධාන ගැටලුව තමයි කාන්තාවන්ට පිරිමින් සමඟ කරට කර තරගයක යෙදෙන්න බැහැ කියන මනෝභාවය. ඔබ කාන්තාවක් නිසා සමාජය ඔබ ගැන මොනවා හිතයිද කියලා සිතන්න එපා. ඔබ සිදුකරන ව්‍යාපාරය ඔබට ගෞරවයක් කියලා සිතලා ආත්මවිශ්වාසයකින් කටයුතු කරමින් පිරිමින් වගේම ශක්තිමත්ව තරගය ලබාදෙන්න.

ඒ වගේම ගෙදර ‍ෙදාරේ වැඩයි, දරුවන්ගෙ වැඩයි, ව්‍යාපාරයේ වැඩයි හැමදේම කාන්තාවට සිදු කිරීමට වීම සහ නිවෙසින් ඒ සඳහා සහයෝගයක් නොලැබීම කියන්නෙත් කාන්තාව මුහුණදෙන අභියෝගයක්. ඒ නිසා මෙය කියවන ස්වාමිපුරුෂයන් සිටිනවා නම් සහ ඔබගේ බිරිය ස්වයංරැකියාවක් කරනවා නම් ඇයට අවශ්‍ය සහයෝගයත් ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා. අනෙක් කාරණය තමයි පුහුණු හා සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වීමට ඇති දුෂ්කරතා.

ඉතින් මේ වගේ පුංචි පුංචි ගැටලු කිහිපයකුත් තිබෙනවා තමයි. නමුත් ඔබගේ ධෛර්ය, උත්සාහය සහ කැපවීම තිබෙනවා නම් මේ ඕනෑම අභියෝගයක් ජයගන්නට හැකි බවත් මතක තබාගන්න. ඒ වගේම ඔබගේ ස්වයංරැකියාව රටේ ආර්ථිකය ගොඩනංවන්නත් බෙහෙවින් බලපාන නිසා ඔබ එමඟින් ජාතික මෙහෙවරක්ද සිදු කරනවා.

ඒ වගේම කුඩා ව්‍යාපාර සංවර්ධනය කියන්නේ ආර්ථිකයට බොහෝ වැදගත් දෙයක් නිසා රජයද මේ සඳහා ඍජු මැදිහත් වීමක් ලබාදෙන්න ඕනෑ. වෘත්තීය පුහුණු ආයතනවල යල්පැන ගිය විෂය නිර්දේශවලින් අෑත්වෙලා වර්තමානයට ගැළපෙන ලෙස ඒවා යාවත්කාලීන කිරීම, පහසුවෙන් පුහුණු සහ අධ්‍යයන  වැඩසටහන්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සැලසීම, පහසු ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම, නිෂ්පාදන අලෙවි කිරීමට පොදු වේදිකාවක් ගොඩනඟාදීම ආදී ක්‍රියා මඟින් රජයටත් මේ සඳහා දායක වෙන්න පුළුවන්.

තක්ෂිලා රණවීර

වනිතා සංවර්ධන නිලධාරි නානුපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුරාධපුරය

දුමිදු ලංකා බණ්ඩාර