අරගල භූමියේදී පෙරටුගාමියේ ප්‍රසිද්ධ නීතිඥයෙක් බුදු දහමට ඇති තැන ඉවත් කරන්න යෝජනා කළා

0
47

ගාලුමුව‍ෙදාර මූලික කරගෙන සිදු කරන ලද අරගලයේ බුද්ධාගමට තැනක් නොතිබුණු බවත් කතෝලික ආගමට ඊට වඩා තැනක් එතැන ලැබුණු බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළුවීම සහ එහි දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ බළන්ගොඩ කස්සප හිමියෝ පැවැසූහ.

අරගලය ඇරඹූ මුල්ම දිනයේ පටන්ම එම අරගලයට සම්බන්ධ වූ පළමු භික්ෂුන් වහන්සේ තමන් බවත් අරගල භූමියේ දී කතෝලික පියතුමන්ලාට එක විදිහට සලකමින් භික්ෂුන්ට වෙනත් විදිහකට සැලකූ අතර ෆාදර්ස්ලා, සිස්ටස්ලා සංවිධානාත්මකව විස්ස තිහ මෙතැනට එවන ලද බවත් කස්සප හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ පැවැති යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදීය.

කතෝලික පල්ලිය විසින් අරගලයට විශාල වශයෙන් ආධාර කළ අතර ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලයට රිංගා එය විනාශ කර දැමූ අතර ජවිපෙ හා පෙරටුගාමීන් අතරින් පෙරටුගාමීන්ට එහි වැඩි බලයක් තිබූ බවත් උද්ගත වූ තත්ත්වය මත අද වනවිට ජනතාවට අරගලය එපා වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

බුදු දහමට රටේ පවතින ප්‍රමුඛතාව අයින් කරන්න අරගල භූමියේ දී පෙරටුගාමී පක්ෂයේ ප්‍රසිද්ධ නීතිඥයෙක් පැවසූ අවස්ථාවේ තමා ඒ සඳහා විරුද්ධව එතැනින් ඉවත් වූ බවත් එය ඒ පක්ෂයේ මතවාදයේම පවතින නමුත් තමා එ‍යට එකඟ නොවූ බවත් උන්වහන්සේ පැවසූහ.

අපේ රටට අවශ්‍ය වන්නේ තරුණ නායකත්වයක් බවත් උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් රටේ ප්‍රශ්න විසඳන්නට නම් ඒ සඳහා විශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවත් නමුත් අරගලයේ දී ජාතික නායකත්වයෙන් හෙබි අලුත් නායකත්වයක් බිහි වීමට ඉඩ නොදුන් බවත් හිමියෝ සඳහන් කළහ. 

මුලින් අරගලය නිර්පාක්ෂිකව පටන්ගත් බවත් ඊට පසුව මේ සඳහා දේශපාලන පක්ෂ ඇතුළු වී එහි අරමුණු හා දිශානතිය වෙනස් කරන ලද බවත් බොහෝ දේශපාලන නායකයන් අරගලයෙන් ලකුණු දා ගැනීම සඳහා පමණක් අරගලය භාවිත කරන ලද අතර අවසානයේ වාමාංශික පක්ෂ මෙහි බලය ලබා ගත් බවත් හෙතෙම පැවසීය.  කතෝලික පූජකවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු නොකරන බවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවත් එයට හේතුව කුමක්ද යන්න තවමත් ගැටලුවක් පවතින බවත් හිමියෝ සඳහන් කළහ. 

අරගලය සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා බිත්තියට හේත්තු කර මේ රටේ ප්‍රශ්න ටික විසඳගන්න වගේම විසිදෙවැනි සංශෝධනය ගෙනත් මේ රට සාමකාමී කරන්නට මිස රට අරාජික කරන්නට කටයුතු නොකරන ලද බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මිතුන් ජයවර්ධන