LIFE එකෙන් JOB එක ෆිල්ටර් කරගන්න Severance බලන්න

0
203

Severance යනු මෑතකාලීනව දැකපු නවමු සංකල්පයකට ගොඩනැඟූ කතාමාලාවලින් එකකි. කෙසේ නමුත් මෙහි නිර්මාපක බෙන් ස්ටිලර්ට මෙය නිෂ්පාදනය කරගැනීමට වසර පහක පමණ කාලයක් ගතවී තිබෙනවා. එයට හේතුව නම් බොහෝ නිෂ්පාදන ආයතන මෙහි සංකල්පයට එතරම් කැමැත්තක් නොදැක්වීමයි.

නමුත් කෙසේ හෝ අවසානයේ Apple TV+ මෙය නිෂ්පාදනය කරන අතර මේ වසරේ පැමිණි හොඳම කතාමාලාවලින් එකක් බවට මෙය පත්වෙනවා. ඒ වගේම මේ වනවිට මෙය දෙවැනි කතා සමයක් සඳහාද දීර්ඝ කර අවසානයි.

මෙම කතාව ගැන යමක් සඳහන් කළොත් ලූමන් නම් සමාගමට වැඩ කිරීමට යන  මිනිසුන්ගේ රැකියා ජීවිතය සහ සේවා ස්ථානයෙන් පිට පෞද්ගලික ජීවිතය යන ද්විත්වය severance නම් ප්‍රතිකර්මය හරහා වෙන්කිරීම සිදුකරයි.

මෙම ප්‍රතිකර්මය කිරීමෙන් අනතුරුව වැඩ කරන අතරතුර සේවකයන්ට පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් මතක නැත.

ඒ වගේම රැකියාවෙන් පිටත් වනවිට රැකියාව ගැන කිසිවක් මතක නැත.

මෙය කතා මාලාව පුරාවටම ගැඹුරින් ගවේෂණයට ලක්වන ඇත්තෙන්ම රසවත් සංකල්පයකි. කතාමාලාව පුරාම වර්ණ භාවිතය, සංගීත සංයෝජනය සහ රංගනයන්ද ඉතාම සිත් ඇදගන්නාසුලුයි.

බොහෝ කතාංග අධ්‍යක්ෂණය කර ඇත්තේ බෙන් ස්ටිලර් විසින් වන අතර ඔහු අධ්‍යක්ෂණය කරන සෑම කථාංගයක්ම අධ්‍යක්ෂණය කිරීමේදී ඔහු විශිෂ්ට කාර්යභාරයක් සිදුකර ඇත. විශේෂයෙන් පළමු කතාංගය සහ අවසාන කතාංගය විශිෂ්ටයි.

මෙම කතාමාලාව තුළට එකතුකර ඇති තේමාවන් සහ කරුණු විශිෂ්ටයි. කැමරාවෙන් පෙන්වන සියලුම දර්ශන රාමු සියල්ලම ඇතුළත් කර ඇත්තේ අරමුණක් සහිතවය.

වර්ණ භාවිතයේ සිට රංග භාණ්ඩ භාවිතය සහ රැකියා ස්ථානය සැලසුම් කර ඇති ආකාරය යන සියල්ලටම අර්ථ නිරූපණයන් ඇත. ඇත්ත වශයෙන්ම ප්‍රධාන සිනමාකරණ ශිල්පී ජෙසිකා ලීගේ කැපවීම severence සාර්ථක වීමට මහත් පිටිවහලක් වී ඇත. බොහෝ විශිෂ්ට දර්ශනයන් නිර්මාණයට පෙර සඳහන් කළ පරිදි, ආලෝකකරණය සහ වර්ණ භාවිතය සමමිතික කැමරා කෝණ යනාදිය දෘශ්‍යමය වශයෙන් මෙතෙක් දැක ඇති හොඳම කතාමාලාවක් බවට මෙය පත්කරයි.

ඇඩම් ස්කොට් සහ බි්‍රට් ලෝවර්ගේ චරිතයන් ගොඩනැඟීම විශිෂ්ටයි.

නමුත් ලුමන්හි වැඩ කරන අධීක්ෂක, මිල්චික් ලෙස ට්‍රැමෙල් ටිල්මන්ගේ රංගනය සහ චරිතය ගොඩනැඟීම ඔවුන්ට නොදෙවැනියි. සාමකාමී මෙන්ම බියකරු ස්වභාවයන් එකවිට නිරූපණයේදී ට්‍රැමෙල්ගේ රංගනය අපූරුයි. විශේෂයෙන් හත්වැනි කතාංගයේදී සිදුවන නර්තන අංගයේදී ඔහුගේ ඉදිරිපත් කිරීම කතාමාලාව තුළ තිබූ විශිෂ්ටම සිදුවීමකි.

පෙර කීවා සේ දෙවැනි කතාමාලාවකට දීර්ඝ කර ඇති මෙය රූපවාහිනි කතාමාලා රසිකයන් වෙනුවෙන් මෑතක නිර්මාණය වූ විශිෂ්ට කතාමාලාවක් බව කිව යුතුයි. ඔබේ කාලය අපතේ නොයවන අපූරු අත්දැකීමක් මෙය නැරඹීමෙන් ගත හැකි බව විශ්වාසයි

ක්‍රිෂාන් මාධව