සියලු ජනතාවගේ පීඩා දුරු කරන අය-වැයක් 2023දී අපි ගේනවා

0
16

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මේ රජය තුළ ඔබගේ භූමිකාව මොකක්ද?

මම දේශපාලන කටයුතුවලට වගේම රජයේ කටයුතුවලටත් සහභාගි වෙනවා. අමාත්‍යාංශයක රාජකාරි සිදුවෙන්නේ නෑ වගේම මම ඇමැති කෙනෙකුත් නෙමේ. නමුත් වර්තමානය ගත්තොත් මේ ආර්ථික අර්බුදය හමුවේ විවිධ මැදිහත්වීම් සිදු කරනවා. විශේෂයෙන් තෙල් අර්බුදය, ගෑස් අර්බුදය වගේම බෙහෙත් හිඟය සම්බන්ධව සක්‍රිය මැදිහත් වීමක් සිදු කරනවා. දැන් IMF නිලධාරීන් කණ්ඩායමක් සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡා සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාම තමා මුදල් අමාත්‍ය විධියටත් කටයුතු කරන්නේ. ඉතින් එතුමා වෙනුවෙන් මමත් ජනාධිපති ලේකම්තුමාත් නිරන්තර සාකච්ඡා සඳහා සහභාගි වෙනවා.

මේ ආර්ථික අර්බුදය නිසා රටේ යම් දේශපාලන අස්ථාවර බවක් ඇති වී තිබෙනවා. ඔබ හිතනවාද මේ අස්ථාවර බව දිගින් දිගටම පැවැතීම රටක් විධියට අපට යම් බලපෑමක් ඇති නොකරයි කියලා?

මෙහෙමයි. මම මේක දිහා බලන්නේ අනෙක් අයට වඩා සම්පූර්ණ දැක්මකින්. මට හිතෙන්නේ ආර්ථික අර්බුදය නිසා රට දේශපාලන වශයෙන් ස්ථාවර වෙලා කියලා. සමහර පක්ෂ සියට සීයක්ම අප එක්ක එකඟ නොවුණත් සහාය නොදැක්වූවත් රට ගැන හෝ ජනතාව ගැන හිතලා හෝ වෙන්න පුළුවන් අර ඔවුන් වෙනදාට කරන සාම්ප්‍රදායික දේශපාලන රංගනයන්, කකුලෙන් ඇදීම් හෝ දේශපාලන වාසි තකා කරන බලපෑම් කරන්නේ අඩුවෙන්. එවැනි ප්‍රවණතාවන් වෙන කාලවලට සාපේක්ෂව අඩුයි. ඒ නිසයි එක් මන්ත්‍රි ධුරයක් තියාගෙන වුණත් ජනාධිපතිතුමාට කටයුතු කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ.

ඒ නිසයි අපි එක් වෙලා යන සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන්නේ. මේ තමා හොඳම වෙලාව රට ගැන, ජනතාව ගැන හිතලා ඔවුන්ට අපගේ වැඩපිළිවෙළට සහාය දක්වන්න වෙනවා. අපි දැනගන්න ඕන හොඳ වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න. දැන් ජනතාව තුළ ජනාධිපති සභා ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එක් රැයෙන් විසඳුම් ලබා දිය නොහැකි වුණත් ඔවුන් විශ්වාස කරනවා අපි මේ අර්බුද විසඳයි කියලා. අපේ වගකීම තමා ඔවුන්ගේ විශ්වාසය පලුදු නොවන ලෙස කටයුතු කළ යුතු වෙනවා.

අතුරු අය-වැයක් ඉදිරිපත් කර තියෙනවා. සමස්තයක් ලෙස රටේ ජනතාව දැඩි ආර්ථික පීඩාවකට ලක්ව ඇති මේ මොහොතේ අය – වැයෙන් ඔවුන්ට සහනයක් ලැබුණා කියා හිතනවද?

ඔව්. මේක සහන අය – වැයක්. සංවර්ධන අය – වැයක් නොවෙයි. සම්පූර්ණයෙන්ම නොවෙයි. නමුත් අපි යම් සහන ප්‍රමාණයක් පහළම ස්තරයේ අයට දීලා තියෙනවා. කොහොම වුණත් රජයේ බදු ආදායම වැඩි කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි බදු යම් ප්‍රමාණයකින් වැඩි කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යන්න අපට ජනප්‍රිය නොවන තීන්දු කිහිපයක් ගන්නත් සිද්ධ වුණා. වැට් බදු සහනය කියන්නේ ජනතාව ඉල්ලපු සහනයක් නොවෙයි. නමුත් වැට් බද්ද 2019දී අඩු කරලා එදා ව්‍යාපාරිකයන්ට සහනයක් දුන්නා. ඒක ඍජුව ජනතාවට ලැබුණේ නෑ. එතැනින් තමයි මේ ආර්ථික අර්බුදය ආරම්භ වුණේ. ඩොලර් විතරක් නොවෙයි අද අපට රුපියලුත් නෑ.

ඒක වුණේ මේ වැට් බදු අඩු කිරීම නිසයි. නමුත් මේ වැරදිච්ච තැන් නැවත හදන්න ඕනේ. හරි මාර්ගයේ යන්න ඕනේ. ඒ ගමනට අවශ්‍ය අඩිතාලම තමයි අපි මේ අතුරු අය – වැයෙන් දාලා තියෙන්නේ. අපි 2023 වර්ෂය වෙනුවෙන් අය – වැය ඉදිරිපත් කරද්දී රටේ සියලු ජනතාවගේ පීඩාවන් දුරු කළ හැකි අය – වැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අඩු ආදායම් ලබන පවුල් 61,000කට මාසයකට රුපියල් 10,000ක් බැගින් ලබාදෙනවා. ගර්භණී මවුවරුන්ට ගර්භණී කාලයේදී සහ දරු ප්‍රසූතියෙන් පසුවත් මාස දෙකක කාලයක් දක්වා රුපියල් 2,500ක් බැගින් ලබාදෙනවා. ඒ ඇයට හිමි රුපියල් 20,000ක දීමනාවට අමතරවයි. සමෘද්ධි දීමනා රුපියල් 5,000 සිට 7,500ක් දක්වා එම දීමනාවත් වැඩි කළා. මේ වගේ හැකි අයුරින් සහන රැසක් අපි ලබාදී තිබෙනවා.

මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පක්ෂ සාමාජිකයන්ට වගේම නුසුදුස්සන්ටත් අදාළ ප්‍රතිලාභ ලැබීමට ඉඩ ඇති බවට චෝදනාවක් එල්ල වෙනවා?

අපි 2002දී පනතක් හඳුන්වා දුන්නා Welfare Benefits Act (සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත) කියලා එකක්. නමුත් ඒ පනත ක්‍රියාත්මක වුණේ නැහැ. අපි එය යළි බලාත්මක කරන්න යන්නේ. ඒ පනත අනුව නුසුදුසු අයකු ප්‍රතිලාභ ලබා ගත්තොත් හරි එවැනි අයට ප්‍රතිලාභ ලබා දුන්නොත් දැඩි දඬුවම් නියම වෙනවා.

රාජ්‍ය ආයතන පාඩු ලබන බව කියමින් රජයේ ආයතන විකුණන්නද මේ හදන්නේ?

නෑ. අපි හදන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන රටට බරක් නොවන ලෙස පවත්වාගෙන යෑමටයි. රටටත් බරක් නොවන විධියට මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද බලන්න අපි වෙනම ආයතනයක් පිහිටුවනවා. මේකට අපි පත් කරන්නේ විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක්. එතැනදි අපි බලනවා කොහොමද මේ ආයතන ලාබ ලබන තැනට ගේන්නේ කියලා. ඒ වගේම රාජ්‍ය අංශයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගද මේ අය ඉදිරිපත් කරාවි.

කොහොම වුණත් මොන ආයතනද ප්‍රතිව්‍යුහගත කරන්නේ. ඒ ඒ ආයතනයන්ගෙන් රටට ලැබෙන වටිනාකම ගැන බලලා තමයි අපි ප්‍රතිව්‍යුහගත කිරීම් කරන්නේ. කොහොම වුණත් රජයක් ලෙස ඇතැම් ආයතන රජයක් ලෙස රාජ්‍ය සන්තකයේ තබාගැනීමට සිදුවෙන්න පුළුවන්. ලෝකයේ බොහෝ දියුණු රටවල රජයන් ව්‍යාපාර කරන්නේ නෑ.

ඉතින් මාත් සිතන්නේ රජයක් සාමාන්‍යයෙන් ව්‍යාපාර කිරීම සුදුසු නැහැ කියලායි. කොහොම වුණත් ප්‍රතිව්‍යුහගත කිරීමේදී සමහර තැන්වලදී රජය සම්පූර්ණයෙන් ඉවත් වෙයි. ඇතැම් අවස්ථාවලදී රජයටත් හවුල්කාරයෙක් ලෙස යම් කොටසක් දැරීමට සිදුවෙයි. කොහොම වුණත් රටේ වටිනාම සම්පත් අපි රජයක් ලෙස ආරක්ෂා කළ යුතුයි කියන තැන ඉන්නවා. විදුලිය ගත්තහම බෙදාහැරීම් සහ ජනනය කිරීම් බොහෝ රටවල වෙන්නේ පෞද්ගලික අංශයෙන්. අපේ රටේ එවැනි දෙයක් නෑ. කෙසේවෙතත් අපිට මේ ඉලක්කවලට එක්වරම යෑමට නොහැකි වේවි.

ඔබ කියන විධියට ආයතන රැසක් පෞද්ගලීකරණය වෙනවා. මෙතැනදී සේවකයන්ට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවෙනවා නේද?

කිසිදු අවස්ථාවකදී එවැනි ගැටලුවක් මතුවෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි රජයක් ලෙස අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් නිර්ණායකයන් ලබාදෙනවා. ඒ අනුව තමයි අදාළ පාර්ශ්වයන් ඊට අදාළ තීන්දු සහ තීරණ ගනු ලබන්නේ. ඒ නිර්ණායකයන් තුළ කළ යුතු, නොකළ යුතු කරුණු අඩංගු වෙනවා. අපි ඒ ආයතනවල සේවකයන් සමඟ සාකච්ඡා කරලා තමයි මේ කටයුතු කරන්නේ. පවතින මේ අවස්ථාව තමයි මෙවැනි කර්තව්‍යයන් කිරීමට හොඳම අවස්ථාවක කියලා මම හිතන්නේ. මොකද ගුවන් යානයක ජීවිතේට අඩියක් නොතියපු කෙනෙක් පවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ගෙවනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් විය යුතු බව ජනතාවත් බොහෝ සේවකයනුත් තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් කියනවා යම් වෙනසක් වෙන්න අවශ්‍යයි කියලා. යම් ක්‍රියාමාර්ගයකට යායුතුයි කියලා.

රාජ්‍ය සේවය බඳවා ගැනීම් නවත්වනවා වගේම රාජ්‍ය සේවකයන්ට ගෙදර යන්න කියලත් කියනවා. මේක සුදුසුද?

රජයේ සේවයට බඳවා ගැනීම් කරන බවට පොරොන්දු දීලා දේශපාලනය කරන කාලය අවසන් විය යුතුයි. සමහර බඳවා ගැනීම් තියෙනවා ඒ සේවකයාට කරන්න කිසිදෙයක් නෑ. සමහරුන්ට ඉන්න තැනක්වත් නෑ. හැබැයි පඩි ගෙවනවා. ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතු නැතිද? මෙතැනදී වැය වෙන්නේ ජනතාවගේ බදු සල්ලි නොවෙයිද? ඉතින් මේ නිසා තමයි රාජ්‍ය සේවකයන්ගේ කාර්යයන් රටට ඵලදායී වන ආකාරයට ලබාගන්නේ කෙසේද කියලා අපි විමර්ශනය කළ යුත්තේ. ප්‍රතිව්‍යුහගත කිරීමේදී එවැනි දේවල් නැවත සකස් වෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තාක්ෂණික දැනුම ලබාගැනීමට හැකිවෙයි.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට සහ ආර්ථිකය ස්ථායීව පවත්වාගෙන යෑමට කෙටි හා මධ්‍යකාලීන විස¾දුම් අවශ්‍යයි. ඊට අදාළව රජයට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද?

 අපි මේ ගැන අවධානය යොමුකර තියෙනවා. මූලිකව ආර්ථිකය ස්ථායිකරණය කළ යුතුයි. එහි පළමු වැනි පියවර ලෙස මැයි මාසයේදී වත්මන් ජනාධිපතිතුමා එවක අගමැති ලෙස මුදල් පනතක් ගෙනාවා. යම් බදු වැඩි කිරීමට සහ වෙනස් කිරීමකට එහි මාර්ගය විවර වෙලා තියෙනවා. ඊට අදාළව මේ අය වැය තුළ යම් යම් කරුණු අඩංගු කර තියෙනවා. IMF සමඟ ඇති කරගත් එකඟතාවෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සම්බන්ධයෙන් ඇති වැඩසටහනද ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. තවද 2023 අය-වැයෙන් මතු කරන වැඩපිළිවෙළක් තියෙනවා. අපේ කෙටිකාලීන වැඩසටහනේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කර තියෙනවා.  ඒ නිසා හරි පාරේ අපි ගියොත් අපි ඉක්මනින් යළිත් යථා තත්ත්වයට පත්විය හැකියි.

මේ වනවිට රටේ පවතින විදෙස් සංචිත හිඟයට IMF ණය ලැබුණු පමණින් විස¾දුමක් වෙයිද?

යම් බදු වැඩි කිරීම සිදුකළේ පවතින රුපියල් ප්‍රශ්නය විසඳුමක් ලෙස තමයි. වියදම් කළමනාකරණය ඵලදායිතාව වැඩි කිරීම මෙයත් සමඟ කළ යුතුයි. මේකෙදී අපට ටික කාලයක් අමාරුවේවි. නමුත් අපි ඕනෑම අර්බුදයකට මුහුණදිය හැකි ජාතියක්. මේ නිසා අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්. IMF හරහා  ලැබෙන මුදල්වලින් නොවෙයි රටේ ආර්ථිකය ශක්තිමත් වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ. එම මූලික අඩිතාලම වැටෙන්නේ IMF මඟින් ගොඩනැඟෙන රාමුව මතයි. රටේ එක් එක් කාලයෙන් කාලයට එන ආණ්ඩුවලට වෙනස් කරන්න බැරි ප්‍රතිපත්තියක් ගොඩනැඟීම තුළ රට සංවර්ධනය කරන්න පුළුවන්.

ඩයස්පෝරාව ආර්ථිකය සංවර්ධනය කරන්න හා ආයෝජන අවස්ථා සඳහා සහභාගි කරගන්නා ලෙස පසුගිය කාලය පුරා ඉල්ලීම් තිබුණා. මේ සම්බන්ධයෙන් රජයට යම් වැඩපිළිවෙළක් තියෙනවද?

අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ කාර්යාලයක් ආරම්භ කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඩයස්පෝරාව කියන වචනය සම්බන්ධයෙන් විවිධ ඍණාත්මක අර්ථකථන තියෙනවා. විශේෂයෙන්ම යුද සමයේ LTTE එකට මූල්‍ය ආධාර එකතු කරලා එව්වා කියලා. ඒ සඳහා සම්බන්ධ වෙන්න ඇත්තේ සමස්ත ඩයස්පෝරාවෙන් සුළු කොටසක් වෙන්න ඕනෑ. ඩයස්පෝරාව කීවම යම් රටක ඉපදිලා වෙනත් රටක ජීවත්වන සමස්ත ප්‍රජාවම අයත්.

ඒ නිසා මේ සංවේදී කාරණාත් සලකා බලලා අපි තීරණය කළා අදාළ කාර්යාලය ශ්‍රී  ලාංකික විදෙස්ගත ප්‍රජාව පිළිබඳ කාර්යාලය (Overseas Sri Lankan’s Office) කියලා නම් කරලා කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී වර්තමාන පරපුර වගේම මුලින්ම ගියේ පරම්පරා තුනකට කලින් සිටි පිරිස නම් ඔවුන් තාමත් ඉන්නවා නම් ඒ අයවත් ඉලක්ක කරගන්න අරමුණින් තමා අපි කටයුතු කරන්න ඉන්නේ. මේ කාර්යාලය ගැන තව මාසෙකින් විතර ගොඩක් කතා කරන්න පුළුවන් වෙයි.

ඔබගේ පැරැණි පක්ෂ මිතුරන් සමඟ යළි එකට කටයුතු කිරීමේ අවස්ථාවක් තියෙනවා කියලා හිතනවාද?

සජබට වේවා වෙනත් ඕනෑම කෙනකුට වේවා අපේ මහගෙදර ‍ෙදාර ඇරලා තියෙන්නේ එන්න පුළුවන් ඕනෑම වෙලාවක. හැබැයි අපි බලය තියෙන වෙලාවේ වෙනත් පක්ෂවලින් එක එක්කෙනා විවිධ වරප්‍රසාද වරදාන දීලා ඩැහැගන්න ලෑස්ති නෑ. වෙනත් පක්ෂ අපහසුවට ලක්කරන්න හෝ අර්බුදයට ලක්කරන්න සූදානමක් නැහැ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එකතුවීමේ සූදානමක් තියෙනවාද?

අපි ඒක ඉදිරියේදී බලමු. ඒ ගැන හරි පිළිතුරක් ඉදිරියේදී ලැබෙයි.

නමුත් ඔබත් පසුගියදා ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රි කණ්ඩායමත් අතර කළ සාකච්ඡාවලට සහභාගි වූ බවට වාර්තා පළවුණා. ඒ සාකච්ඡාවලදී ළඟා වූ එකඟතාවන් ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවා නේද?

මම ජනාධිපතිවරයා සහ විවිධ පක්ෂ නායකයන් සහභාගි වූ සාකච්ඡා සඳහා සහභාගි වුණේ නෑ. ඔහු සජබ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිතුමා මුණගැසුණා මේ සාකච්ඡාවල කොටසක් විධියට. ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරයටත් කටයුතු කළා.

මම අහන්නේ මාධ්‍ය ඉදිරියේ සියලු පක්ෂ විටින් විට කැඳවා කළ සාකච්ඡා ගැන නෙවෙයි. රහසේ සජබ මන්ත්‍රි කණ්ඩායම් සමඟ කළ සාකච්ඡා ගැන?

නැහැ. මම ඒ සාකච්ඡාවලටත් සහභාගි වුණේ නෑ.

ඔබ සියලුදෙනා එක්ව යන ගමනක් ගැන පැවසුවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් එහෙම නැත්නම් පාලනයක් ඇති කිරීම ගැන පසුගියදා ලොකුවට කතා කළාට මේ වෙද්දි පෙනී යන්නේ ඒ සියල්ල ඇනහිට ඇති බවයි. මොකක්ද මේ ප්‍රමාදයට හේතුව?

අපි රජයක් විදිහට පසුගිය කාලයේ සම්පූර්ණ අවධානය යොමු කළේ අතුරු අය-වැය ඉදිරිපත් කිරීමේ කයුතුවලට. ඊට අමතරව IMF නිලධාරි කණ්ඩායම සමඟ සාකච්ඡා සිදුවූවා. මුදල් අමාත්‍යවරයා විධියට ජනාධිපතිවරයා ඉතාමත් කාර්යබහුල වෙලා හිටියේ. මේ හේතු නිසා තමා ප්‍රමාදය. ලබන සතිය වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීම පිළිබඳව වගේම රාජ්‍ය ඇමැතිවරු පත්කිරීම ගැනත් කටයුතු සම්පාදනය කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

 රන්ජන් රාමනායක මහතාට ඇයි පූර්ණ ජනාධිපති සමාවක් නොලැබුණේ?

එතුමාට තිබුණේ උසාවියට අපහාස කිරීමේ චෝදනාවක්. උසාවියට උපහාස කිරීම විවිධ ආකාරයට විය හැකියි. ඔහුට තිබුණේ විනිසුරුට අපහාසාත්මක චෝදනා කළා යැයි කියන චෝදනා. එහිදී අපි නීති උපදෙස් මත තමා කෙමෙන් කෙමෙන් කටයුතු කරන්නේ.

ඔහුට යළි පාර්ලිමේන්තුවට ඒමට කටයුතු කරන බව වාර්තා වෙනවා?

මම හිතන්නේ නෑ. ඔහුට ඔහුගේ ප්‍රජා අයිතිය ලැබෙන තුරු යළි මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ හැකියි කියලා.

බොදුබල සේනා සංවිධානයේ නායකයාට උසාවියට අපහාස කළා යැයි චෝදනාව තිබුණත් ජනාධිපති සමාව ලැබුණා පූර්ණව? ඇයි මේ වෙනත් අයට වෙනස් සැලකිලි?

වෙනස් ජනාධිපතිවරු කටයුතු කරන්නේ වෙනස් විධියටනේ. පෙර සිද්ධියට පාදක කරගත් කරුණු ගැන අප දකින්නේ නෑ. ජනාධිපතිවරයාට විධායක බලතල තිබුණත් ප්‍රතිපත්තිය වශයෙන් ඔහු අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි දක්වන සැලකීම මත හැසිරීම වෙනස් වෙනවා.

ජාතික ආරක්ෂාව ගැන ජේ‍යෂ්ඨ උපදේශක ලෙසත් කටයුතු කරනවා. මොකක්ද ඔබේ සැබෑ වගකීම?

අපි ජාතික ආරක්ෂාව ගැන කාර්යාලය පිහිටුවනවා. එයින් කියැවෙන්නේ නෑ මම පොලිස් ඇමැතිගේ කටයුතු හෝ ආරක්ෂක ඇමැතිගේ කටයුතු සිදු කරනවා කියලා. මෙය ජාතික ආරක්ෂාව ගැන කිව්වට රටවල් අතර ආරක්ෂක ක්‍රියා සිදු කිරීමේදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව වගේම භෞමික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනවා. ඒ වගේම භූමියේ ආරක්ෂාවට සීමා නොවී ආහාර සුරක්ෂිත බව තහවුරු කිරීම සිදුවෙනවා. ඒ වගේම යම් යම් රටවල් ගැන කටයුතු කළ යුත්තේ කෙසේද කියන එකත්, යම් රටවල් සම්බන්ධයෙන් කටයුතු නොකළ යුත්තේ කෙසේද කියන එක ගැනත් ක්‍රියා කළයුතු වෙනවා. අපි ජාතික ආරක්ෂාව පිළිබඳව කාර්යාලයක් ඇති කළ පසු ඒ ගැන කටයුතු කරනවා.

ඒ කාර්යාලයේ කාර්යභාරය ගැන විස්තර කළොත්?

අපි ජාතික ආරක්ෂාව ගැන කවුන්සිලයක් හදනවා මේ කාර්යාලය වගේම ලේකම් කාර්යාලයක් ඇති වෙනවා. ඒ අනුව දැනට පවතින ඉතා පැරණි ජාතික ආරක්ෂක මණ්ඩල නීති සංශෝධන කරනවා. ලබන මාර්තු වන විට මෙය සිදු වේවි.

දැන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණෙන බව පැවැසෙනවා. මේක එක්ක යළි ගැටලුකාරී තත්ත්වයක් ඇති වේ යැයි සැක පහළ වෙනවා?

මම එහෙම හිතන්නේ නෑ. අපි රටක් විධියට ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නවා හිටපු ජනාධිපති ලෙස ඔහුව සහ ඔහුගේ අයිතීන් ආරක්ෂා කරන්න. මේ රටේ මිනිසුන් විධියට අප තහවුරු කළ යුතු වෙනවා ඔහුට යම් හානියක් සිදු නොවන බවට.

ඔහු යළිත් දේශපාලනයට පැමිණීමේ ඉඩක් තියෙන බවට ඉඟි පළවෙනවා?

ඔහු විසින් ජනතාවට තහවුරු කළ යුතු වෙනවා ඔහු කිරීමට හෝ නොකිරීමට බලාපොරොත්තු වන දේවල්. ඒ මඟින් ජනතාවට විශ්වාසයක් ඇති කළ යුතුයි.

ඔහුට විරුද්ධව ඇති නඩුවලින් පවා ඔහුව ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවාද?

නෑ. එහෙම වෙන්නේ නෑ. මේ රටේ පුරවැසියෙක් විධියට ඔහුට මෙරටට පැමිණීමේ හා ආරක්ෂිතව සිටීමේ අයිතිය තියෙනවා. ඇයි අපි අපේ හිටපු ජනාධිපති කෙනෙක් වෙනත් රටවල රස්තියාදු කරන්නේ ඇයි?

පොහොට්ටුවේ බලපෑම් තියෙනවා කියලා වාර්තා වෙනවා හිටපු ජනාධිපතිතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හෝ අගමැති ධුරය දිය යුතු බවට. මෙහි සත්‍ය අසත්‍යතාව මොකක්ද?

එවැනි දේ සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් පැවැත්වුණේ නෑ. මම හිතන්නේ නැහැ ඔහුට එවැනි අභිප්‍රායක් ඇති කියලා. ඔහු යළි දේශපාලනයට එයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මට ඔහු වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්න බැහැ. ඔහු කරන දේ ගැන කියන්න පුළුවන් ඔහුටමයි.

ගෝලීය භූ දේශපාලන බලවතුන් නිසා ශ්‍රී  ලංකාව මේ වන විට කුමන තත්ත්වයේද ඉන්නේ. අපි ඉන්දියාව, චීනය හා ඇමෙරිකාවේ දැඩි බලපෑමට ලක්ව අසරණ වෙලා නෙමෙයිද ඉන්නෙ?

අපි උපායාත්මක වශයෙන් ඉතාම සංවේදී සහ වැදගත් ස්ථානයක තබා රටක් විධියට ස්ථානගත වෙලා ඉන්නේ. අපි සියල්ලන් සමඟ නොබැඳි ප්‍රතිපත්තියෙන් කටයුතු කරනවා. නමුත් අපිට කලාපයේ ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා. අපිට රටක් විධියට දැඩි තීරණයක් ගන්න වෙන්නේ හෝ හිටගන්නා පැත්ත තීරණය කරන්න වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් හෝ එකඟතා උල්ලංඝනය වෙන අවස්ථාවකදී පමණයි.

ගගනි වීරකෝන්

ඡායාරූපය – වෙනුර චන්ද්‍රමාලිත