ලංකාවේ දක්ෂයන්ට තැනක් ලැබෙන්නේ හරිම අඩුවෙන්

0
65

ඇය නමින් රුවී ලක්මාලි. මේ දිනවල සාර්ථකව තිරගත වන ආශාවරී චිත්‍රපටයේ සහ තුම්පනේ ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිත රඟදක්වන නිසාම අෑ වර්තමානයේදී කා අතරත් ජනප්‍රිය තරුවක්. ඉතින් මෙවර හදගැස්ම කතාබහට ඇයව එක් කර ගැනීමට අපත් සිතුවා. මේ දවස්වල වැඩකටයුතු මොනවද?

තුම්පනේ ටෙලි නාට්‍යය සහ ආශාවරී චිත්‍රපටය විකාශය වනවා. සුපුරුදු පරිදි වෙළෙඳ දැන්වීම්වලට සහ ෆොටෝ ෂූට්ස්වලටත් සම්බන්ධ වනවා.

මුලින්ම ආශාවරී චිත්‍රපටය ගැන කතා කරමු?

එහි මගේ චරිතය කල්පනී සුබ්‍රමනියම් නම් දමිළ තරුණියකගේ. ඇත්තටම මොකක්ද මේ කතාව කියන දේ ප්‍රේක්ෂකයන් තේරුම් ගන්නේ, මගෙයි සාරංග අයියගෙයි දෙබසක් ඇතුළත් රූප රාමුවක් ආරම්භ වීමත් සමඟයි.

තුම්පනේ ටෙලි නාට්‍යයේ ඔබගේ රංගනය පිළිබඳවත් කතා නොකරම බැහැ?

සුපුන් රත්නායක අයියාගෙ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් හැඩ වූ තුම්පනේ ටෙලි නාට්‍ය නිසා නොසිතූ ආකාරයේ රසික ආකර්ෂණයක්, ආදරයක් දිනා ගැනීමට මට හැකි වුණා. වෙළෙ¼ද දැන්වීම්වලදී මාව දැකපු සුපුන් අයියා තමයි මෙයට මට ආරාධනා කළේ. එහි මා මදුෂානි සහ පියුමි යන ද්විත්ව චරිත රඟදැක්වූවා. මගේ රංගන ජීවිතයේ පළමු වතාවටයි එලෙස ද්විත්ව චරිත රඟදැක්වූයේ. මදුෂානි මිස්ට රසිකයන් වැඩිපුර ඇලුම් කරනවා වුණත්, සිතට දැනෙන ආකාරයට මා  රඟදක්වන්නේ පියුමි නම් චරිතය යැයි මට හැඟෙනවා. මෙය හුදෙක් සමාන්‍ය නිවුන් සහෝදරියන් දෙදෙනකුගේ චරිත ද්විත්වයක් නොවීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. එනම් කතාව ගලා යන්නේ, ලොව එක වගේ 7 දෙනකු සිටියි යන කියමන සනාථ කරමින් මාගේ රුවට සමාන තවත් අයකුගේ චරිතයක් ලෙසටයි.

එකිනෙකට වෙනස් චරිත ද්විත්වයක් එකවර රඟදැක්වීම අභියෝගයක් වුණාද?

එය අභියෝගයක්. ඇතැම් විට චරිත ද්විත්වයම එකම අවස්ථාවේ, එකම දර්ශන තලයක සිටිනවා රඟදැක්වීමට තිබුණා. එහිදී කටහඬ පාලනය, මුහුණේ වෙනස් වන ආකාරය සහ එම ඉරියව් ප්‍රකාශනය ආදී සියල්ලක්ම තුළ කළ යුතු බොහෝ දේ තිබෙනවා. එම චරිත ද්විත්වයේම ජීවත් වෙමින්, ඒ සඳහා උපරිම සාධාරණයක් කළා යැයි මා විශ්වාස කරනවා.

ඔබ කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පාසල් කාලයේදීමයි නේද?

මා කලා ක්‍ෂේත්‍රයට පැමිණ දැන් අවුරුදු 12ක් පමණ වනවා. මගේ පළමුවැනි ටෙලි නාට්‍ය අරුණ ජයවර්ධන අයියාගේ බාඳුරා දේශය ටෙලි නාට්‍යය. එයට මා සම්බන්ධ කළේ මගේ පාසලේ නර්තන ගුරුතුමිය. ඒ වන විට මා මට අවුරුදු 12-14ක පමණ පාසල් ශිෂ්‍යාවක්. නමුත් පාසල් වැඩකටයුතු අතපසු වන හෙයින් ඉන්පසු මා දිගටම රංගනයට සම්බන්ධ වුණේ නැහැ. පසුකාලීනව මා උෟව පළාතේ සිරිකත කුමරිය බවට පත් වූවායින් පසුව නැවත රංගනයට ආරාධනා ලැබුණා. මීට ඉහතදී මා පෞද්ගලික පාසලක ගුරුවරියක් වශයෙන් වැඩ කටයුතු කළා. නමුත් දැන් පූර්ණකාලීනව රංගනයේ නියැළී සිටිනවා.

මේ වන විට ඔබ නිර්මාණ කීයකට විතර දායක වී තිබෙනවාද?

සුනිල් ආරියරත්න මහතාගේ යශෝධරා, දුමින්ද සංජීව වියැළුණු දළුව, රෂ් චිත්‍රපටයේ සාරංග දිසාසේකර අයියාගේ නැඟණියගේ චරිතයටත් පණ පෙව්වා. තව සනත් ගුණතිලක මහතාගේ චිත්‍රපටයකත් රඟපෑවා. ඉන්පසුව ආශාවරී චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.

අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

මම වැඩ බදාගෙන කරන අයෙක් නොවෙයි. මේ අවුරුදු 12ට තෝරා බේරා ගැනීමක් සහිතව ඉතා සුළු නිර්මාණ ප්‍රමාණයකටයි දායක වූයේ. නමුත් යම් චරිතයක් මට ගැළපෙනවා සහ එයට මට ඉතා හොඳ සාධාරණයක් කළ හැකි නම්, ඒ සඳහා උපරිම කැපකිරීම මා කරනවා. සුමුදු වෙල්ලාලගේ මහතාගේ අනුරාධපුරදී රූගත කිරීම් කළ හරස් පාර ටෙලි නාට්‍ය එවැනි නිර්මාණයක්. එහිදී මගේ චරිතය පස් වැදෑරූම් අයුරින් රඟදැක්වීමට අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මානයකට පවා නිර්දේශ වුණා. එනිසා යම් චරිතයක මට කරන්නට යමක් තිබෙනවා නම් එය මා අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මොකද මම අභියෝග භාර ගන්න හරිම කැමතියි.

ඔබ වේදිකාවට සම්බන්ධ වුණේ නැද්ද?

පාසලේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පාසලෙන් පසුවත් වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණත් කාල වේලාව වෙන් කර ගැනීම සහ අනෙකුත් වැඩකටයුතු හේතුවෙන් සම්බන්ධ වුණේ නැහැ. නමුත් වේදිකා නාට්‍යක රංගනයට දැඩි ආශාවක් තිබෙනවා  මොකද වේදිකාව කියන්නේ රසිකයන් හා මුහුණට මුහුණ හමුවන ස්ථානයක්.

ඔබ ජනප්‍රියත්වය පසුපස යන අයෙක් නෙවෙයිද?

මම කලා ක්‍ෂේත්‍රය තුළ අවුරුදු 12ක් පුරා වැඩකටයුතු කළත්, ජනප්‍රිය රැල්ල නොහොත් ජනප්‍රිය කුලකයට තවමත් මා පැමිණෙමින් සිටිනවා කීවොත් හරි. මා සිතන්නේ එයට එකම හේතුව “ගොසිප් කියන දේවල් තවම මා වටා නිර්මාණය වී නැහැ.” රංගන ශිල්පීන් හට ජනප්‍රියත්වය තිබිය යුතුයි. නමුත් ජනප්‍රියත්වයට වඩා දක්ෂකම රංගන ශිල්පියකුට ඉතාම වැදගත්.

වර්තමානයේදී කලා ක්‍ෂේත්‍රයන් තුළ දක්ෂයාට සුදුසු තැන ලැබෙනවාද?

ලංකාව තුළ දක්ෂයාට සුදුසු තැන හිමිවෙන්නේ හරිම අඩුවෙන්. නමුත් දක්ෂකම කියන දේ කිසිවකුටත් සොරකම් කළ නොහැකියි. කොයි මොහොතකදී හෝ ස්වභාවධර්මයෙන් හෝ දක්ෂයාට නිසි තැන ලැබෙනවාමයි. දක්ෂයාට දක්ෂකම් පෙන්වීමට කුඩා චරිතයක් වුවත් ප්‍රමාණවත්.

පවුලේ විස්තර මතක් කළොත්?

මගේ පාසල බණ්ඩාරවෙල විශාකා බාලිකා විද්‍යාලය. මගේ පවුලේ ඉන්නේ මමයි, අයියලා දෙන්නයි, අම්මයි, තාත්තයි. මගේ සැමියා නාකුල් ප්‍රසාද්. මට අම්මා වගේම ආදරය කරන නැන්දම්මා කෙනෙක් ඉන්නවා. මගේ සැමියාගේ පියා නම් මෑතකදී අප අතරින් සමු ගත්තා.

ඔබගේ සැමියත් කලාවට සම්බන්ධයි නේද?

ඔව්. ඔහු සහාය අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් රංගනයට සම්බන්ධ වූ අයෙක්. මේ මෑතකදී මා සමඟ ‘මව්බිම’ පුවත්පත වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් 05කටත් ඔහු සම්බන්ධ වුණා. මගේ රංගන කටයුතුවලට උපරිම නිදහස ඔහුගෙන් හිමි වනවා. විවාහක රංගන ශිල්පිනියක විධියට එවැනි නිදහසක් නොලැබෙනවා නම් නිර්මාණ කටයුතු සඳහා දායක වන්න අපහසුයි.

සැමියා දීර්ඝකාලීනව රංගනයේ යෙදෙනවාට ඔබ අකැමැතිද?

අනේ නැහැ. ඇත්තටම එහෙම විශේෂ අකැමැත්තක් නැහැ. මොකද අපි දෙන්නා හොඳ අවබෝධයකින් යුතුව තමයි ගමන යන්නේ.

විවාහක යුවළක් විධියට කලා ක්‍ෂේත්‍රයේ සාර්ථක ගමනක් යෑමට අනේ‍යාන්‍ය අවබෝධය කොතරම් වැදගත්ද?

අප දෙන්නා හොඳම යහළුවන් වගෙයි. අප අතර රහස් නැහැ. අපට ඕනෑම කාරණාවක් සම්බන්ධව විවෘතව කතාබහ කළ හැකියි. සියලුම දේ සඳහා ඔහුගෙන් පුදුම සහයෝගයක් ලැබෙනවා. “ඇතැම් විට, ආදර ජවනිකා රඟදක්වන විටදී, ඒ සඳහා උපරිම සාධාරණය ඉෂ්ට වන ආකාරයට අවශ්‍ය රංගනය ලබා දෙන්න කියන දේ” ඔහු නිතර මට කියන කාරණාවක්. මගේ රංගන කටයුතුවලට ඔහුගෙන් කිසිදු බාධාවක් නැහැ. බොහෝ දේ සඳහා මා හට ගුරුහරුකම් ලබා දෙන්නෙත් ඔහුයි. මා පිළිබඳව ඔහු තුළ ලොකු විශ්වාසයක් තිබෙන අතර, මාද එම විශ්වාසය ඒ අයුරින්ම ආරක්ෂා කරනවා. කලා ක්‍ෂේත්‍රය තුළ පමණක් නොව, සෑම ක්‍ෂේත්‍රය තුළම හොඳින් කටයුතු කරමින් සාර්ථකව රැඳී සිටීමට අනේ‍යාන්‍ය අවබෝධය සහ විශ්වාසය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

අනාගත බලාපොරොත්තු මොනවද? ඇඟට දැනෙන, වෙනස්ම විධියේ, ප්ලේ කළ හැකි, අභියෝගාත්මක චරිත කරන්නට මා ඉතා ආශාවෙන් ඉන්නවා.

දිනූෂා මනෝරි නිශ්ශංක