පෙම්වතා මළ සොවින් ගං දියට දිවි පිදූ නැඟනියගේ වියෝව කියා දෙන පාඩම

0
71

තමාගේ සිතුවිල්ලකට ක්ෂණිකව වහල් වී ජීවිතය නැතිකර ගැනීමට අතීතයේද ඇතැම්හු පෙලඹුණහ.

එහෙත් ඉතිහාසයේ නොවූ විරූ ලෙස සියදිවි හානිකර ගැනීමට බාල, තරුණ, මහලු පුද්ගලයන් යොමු වීම මහත් අභාග්‍යයකි.

2015 වසර වනවිට ලෝකයේ සියදිවි නසාගැනීම වසරකට මිලියනයකට පමණ ආසන්න වුවද පසුකාලීනව එය අඩුවන්නට විය.

නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානය වනවිටද මෙම අවාසනාවන්ත තත්ත්වය නැවත නැවතත් ඉස්මතු වනු දක්නට ලැබේ.

දරාගැනීමේ ශක්තිය සීමාව ඉක්ම වනවිට මෙම තත්ත්වයට පත්වන බව මෙවන් අවාසනාවන්ත සිද්ධීන් දෙස බලන විට පැහැදිලි වේ.

එවන් තත්ත්වයන් කිහිපයක් පසුගිය මාසයේ වාර්තා විය.

එහෙත් ඉකුත් සතිය තුළ ආන්‍ෙදා්ලනයට පත් වූ අවාසනාවන්ත සිද්ධිය වූයේ නිල්වලා ගං පතුලේ සැඟවුණු තරුණයන් සිවුදෙනාගේ මහත් අවාසනාවන්ත ඛේදවාචකයේ දිගුවක් ලෙස නිල්වලා ගඟට බිලි වූ තරුණියකගේ ඛේදවාචකයයි.

ඉකුත් මස 27 වැනි දින පස්වරුවේ නිල්වලා ගඟේ ඉහළ කොටස වන පිටබැද්දර අඬනහිරි ඇල්ල ප්‍රදේශයෙන් දිය නෑමට නිල්වලා ගඟට බැස ගත් තරුණයන් සිවු දෙනකු අනපේක්ෂිත ලෙස ජල පහරට හසුවී ගං පතුලේ සැඟවිණි.

එහිදී ගං පතුලේ සැඟව ගොස් මියගිය තරුණයන් සිවුදෙනාගෙන් එක් තරුණයකුගේ පෙම්වතිය මෙම ඛේදවාචකය සැලවීමත් සමඟ දරාගත නොහැකිව හඬාවැටුණු බව ඇයගේ පවුලේ ඥාතීහු පවසති. පසුව ඇය රාත්‍රි 9ට පමණ නිවෙස පිටුපස ඇති නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරමඔය ආරට පැන සියදිවි නසාගෙන තිබේ.

මෙම ඛේදවාචකය මෑතකදී රටම කම්පා කළ ආසන්නතම සිද්ධිය වේ. එහෙත් මෙවැනි සිද්ධි සමූහයක් පසුගිය මාසය තුළ වාර්තා විය.

ආදරය, වේදනාව දරාගත නොහැකිව වටිනා ජීවිත විනාශ කර ගනිද්දී තවත් පිරිසක් ආගමේ නාමයෙන් වටිනා ජීවිත විනාශ කළ අවස්ථාද දක්නට ලැබේ.

මෙරට සිදුවූ මිලේච්ඡ පාස්කු ප්‍රහාරය එවැන්නකි.

මෙරට තිස් වසරක කුරිරු යුද්ධයේ සාපයේ නාමයෙන් සිත් පිත් නැති බෝම්බ සිරුරේ රඳවාගෙන ත්‍රස්ත ක්‍රියාවලට එක්වෙමින් සියදිවි හානි කරගත් අවස්ථාද තවත් අයුරකින් දක්නට ලැබිණි.

තම රෝගාබාධ ඉවසා ගැනීමට නොහැකිකම නිසා, තම දරුවන් පෝෂණය කරගැනීමට ආර්ථික ශක්තියක් නැති නිසා, තමන්ට ණය තුරුස් ගෙවා ගැනීමට නොහැකි නිසා මෙන්ම ආදරය, කරුණාව අහිමි වූ නිසාද සියදිවි හානිකරගත් අවස්ථා ඉතිහාසය පුරා කොතෙකුත් දක්නට ලැබේ.

එහෙත් හේතුව කුමක්ද යන්න විග්‍රහ කිරීම නොව විස¾දුම් සෙවීම ඉතා වැදගත් වන්නකි.

ජීවිතයේ වටිනාකම මැනවින් වටහා ගත් බෞද්ධ රටක් මෙම තත්ත්වයට පත්වීම කොතරම් අභාග්‍යසම්පන්නද?

බුදු දහම ශික්ෂණයකින් යුතුව ජීවිතය හැඩගසා ගැනීමට ඉගැන්නුවද එය මායිමකට නොගන්නා සමාජයක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තවදුරටත් නොවන්නට කටයුතු කිරීම, උපදෙස් දීම මෙන්ම නිසි මඟපෙන්වීම කළ යුතුය.

මේ පිළිබඳව සමාජයට ආදර්ශයක් දීම සහ මඟපෙන්වීම වෙනුවෙන් ‘මව්බිම ඉරිදා’ සංග්‍රහය මහාචාර්ය පූජ්‍යපාද ඉ¾දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසීය.

අධ්‍යාපනඥයකුද වන මහාචාර්ය පූජ්‍යපාද ඉ¾දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙසේ කීහ.

“ප්‍රේමය කියන්නෙ දරාගැනීමට නේ. සියදිවි නසාගන්නේ ඇයි? සමහර තරුණ පිරිස සියයට 99ක් සියදිවි නසාගන්නේ ප්‍රේමය නිසා. එතකොට දරාගැනීමේ ප්‍රශ්නයක් මෙතැන තියෙන්නේ. එතකොට වැඩිහිටියන් අතර සියදිවි නසාගැනීම් තියෙන්නෙ දරාගැනීමට නොහැකි කාරණාව නිසා නොවේ. වැරැදි තීරණයක් නිසා ඒ කියන්නේ සාවද්‍ය භාවිතාව නිසා. ඒකට උත්තරයක් හොයන්න බැහැ. ඒක වෙනම එකක්. ප්‍රේමය කියන්නේ දරාගන්න පුළුවන් එකක්. ප්‍රේමය දරාගන්න බැරි නෑ. අදටත් ප්‍රේම කරලා පරාජිතයෝ වන අය ඕනෑ තරම් ඉන්නවා. සියදිවි නසා ගන්නේ නැහැ. ඉඳහිට කෙනෙක් එවැනි කාරණා කරගන්නවා. එහෙම කරගන්නවා කියන එකේ තේරුම තමයි ජීවිතයට මුහුණ දෙන්න බැරි පුළුන් පොදක් වැනි මනසක් සහිත බරසාර නොවන දරු පිරිසක් නිර්මාණය වීම.

සියදිවි හානිකර ගැනීම පිළිබඳ විශාල ලෙස පරීක්ෂණ කරලා තියෙනවා ඒ අයගේ අධ්‍යයන පරීක්ෂණවලින් අනාවරණය වන තොරතුරු කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මේක දැවැන්ත ඛේදවාචකයක්. පාසල් විය ඉක්මගිය හෝ පාසල් විය ඉක්මයමින් සිටින ජීවිත අත්දැකීම් අඩු දරුවෝ තමයි වැඩිදෙනෙක් මේ තත්ත්වයට ගොදුරුවෙලා තියෙන්නේ. මේකෙ තේරුම තමයි පාසල් අධ්‍යාපනය ලබමින් ඉන්න කාලවකවානුව තුළ දරුවන්ට ලබාදෙන්නේ ඩේටා බේස් අධ්‍යාපනයක්.

එම දත්ත පාදක අධ්‍යාපනය විසින් ජීවිත අධ්‍යාපනයට දරුවා යොමු කරන්නේ නැහැ. දත්ත පාදක අධ්‍යාපනය විසින් දරුවාගේ මස්තිෂ්කයට කිසියම් දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ මූලික අධ්‍යාපනය සමඟ ආකල්ප සහ කුසලතා දියුණු කිරීමයි. ජීවිතය ජීවත් කරවීම උදෙසා වන සවිමත් මනසක් ගොඩනැඟීම සඳහා අධ්‍යාපනය භාවිත කරන්නේ කෙසේද යන්න ලෝකයේ දියුණු රටවල දකින දෙයක්.

හැබැයි අපේ රටේ විභාගයකින් කෙළවර කරන අධ්‍යාපනය හේතුකොටගෙන ළමයින් ජීවිතය ඉගෙන ගන්නේ නෑ. ජීවිත බර ඉසිලිය හැකි දරුවෙක් වෙන්න නම් මේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනෑ. අධ්‍යාපනය තියෙනවා ප්‍රධාන පැති දෙකක්. නොදන්නා විෂයයක් දන්නා කෙනකු විසින් නොදන්නා කෙනකුගේ මස්තිෂ්කයට සම්ප්‍රේෂණය කිරීම. ඒ අනුව තමයි විද්‍යාව, ගණිතය ආදී දත්ත අධ්‍යාපනය ලැබෙන්නේ.

ඒක නිසා අද රටේ බිහිවෙලා තියෙන්නෙ විභාග පූර්ව අධ්‍යාපනයක් ලබපු වැඩිහිටි පිරිසක්. ඒ අයගේ හැසිරීම් රටාව දිහා බලපුවාම තේරෙනවා යමක් දෙස විමසුම් නෙතින් විවේක මනසින් බලන්න සූදානම් නැහැ කියලා. එම ක්ෂණික මනස නිසා ක්ෂණික ප්‍රතිඵල ඇති වූ අතර තත්පරෙන් තත්පරේට වෙනස් වෙන ඔළුවක් නිර්මාණය කරපුවාම දරුවකුට දරාගැනීමේ ශක්තිය නැති වෙලා යනවා.

සියදිවි නසා ගැනීමට හේතුවන වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳව මාතර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය චමරි මුදලිගේ මහත්මියද මෙසේ අදහස් දැක්වූවාය.

“අපේ රටේ හැම කෙනෙක්ම හැම දරුවෙක්ම ආදර සම්බන්ධතාවක් නැතිවුණා කියලා එහෙමත් නැත්නම් විභාගය ෆේල් වුණා කියලා නැත්නම් අම්මා, තාත්තා බැන්නා කියලා සියදිවි හානි කරගන්නේ නැහැ. දරුවන්ට මැදිවියේ හෝ වැඩිහිටියන්ට ජීවිත නැති කරගන්න හේතු ගොඩක් බලපානවා. හේතු කිහිපයක් අතරින් එක හේතුවක් තමයි අපේ ජානවලින් පෙලඹවනවා ජීවිතය නැති කරගන්න හේතු. අනෙක් කාරණය තමයි අපි පොඩි කාලේ ඉඳන් කොයි වගේ කෙනෙක්ද කියන පෞරුෂය බලපානවා. ඒ අය අවධානය ලබාගන්න ජීවිතය නැති කරගන්න උත්සාහ කරනවා. දීර්ඝකාලීන රෝග තියෙන අවස්ථාවලදීත් එහෙම වෙනවා. ජීවිත හානි කරගන්නට උත්සාහ කරන දේ ක්ෂණිකව ඒ මොහොතේත් තියෙනවා නම් ඔහුට ඇයට සිතන්න වේලාවක් නැහැ. ක්ෂණිකව එවැනි දේවල් කරගන්න පුළුවන්.

ඊට අමතර අනිත් කාරණය තමයි මානසික රෝග. මානසික රෝග ඇති බොහෝදෙනකුගේ මොළේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා විෂාදය කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

බින්න උම්මාදය කියලා දෙයක් තියෙනවා. ඒ අයට හිතෙනවා කවුරු හරි කරදරයක් කරයි කියලා. නැත්නං කවුරුහරි කතා කරනවා වගේ දැනෙනවා. ජීවිතය නැති කරගන්න එක හොඳයි කියලා දැනෙනවා. මාව මරන්න එනවා කියලා හැඟෙනවා.

විශේෂයෙන්ම අද දරුවෝ ඉන්දියාවේ දමිළ, හින්දි චිත්‍රපටි බලනවා. ඒවායේ බොහොමයක තියෙන්නේ ජීවිත හානි කරගන්න විධිය. බොහෝමයක තියෙන්නේ පළිගන්න විධිය. එහිදී ආයුධයකින් කපාගන්න දර්ශන පෙන්නනවා. ටෙලි නාට්‍යවලත් වැඩිපුරම පෙන්වන්නෙ ජීවිත හානි කරගන්න ආකාරය, ජීවිත හානි කරගන්න උත්සාහ කිරීම වගේ දේවල්. ඉතින් මේ අනුකරණ නිසා දරුවන්ගේ ආවේගය පිට කරගන්නේ එහෙම කරලා. ළමයි යම් අවස්ථාවක කිසියම් ගැටලුවකට පීඩනයකට ලක් වුණාම එය බෙදාගෙන විසඳගන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට විසඳුම් ලෙස ළමයි ගන්නෙ අනුකරණය.

ඒ වගේම තමයි නිවෙසේ චර්යාව අනුවත් අනුකරණය සිදුවෙනවා. අක්කා කළොත් නංගිත් ඒ අනුකරණය කරනවා.  එවැනි තත්ත්වයන් දීර්ඝ ලෙස සිත්වලට ගැනීමේදී අවසාන ප්‍රතිඵල වශයෙන් තමයි ඔය සියදිවි හානිකර ගැනීම් වගේ දේවල් සිදු කරන්නේ. මොළයේ රසායනික වෙනස්වීම් සිදු වූ අවස්ථාවලදී ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. ඇතැම්විට මනෝ උපදේශනයක් මඟින් සුළු කාලයකට එය යටපත් වුවත් නිසි ප්‍රතිකාර නොගැනීම නිසා එය වහා මතු වෙන්න පුළුවන්.

මාතර – උදය කුමාර රණවීර