මේක මොළෙන් ගහන ගේමක්! Queen ‘S gumbit

0
554

2020  අවුරුද්දේ NETFLIXල නිකුත් කරපු මේ mini series එක කොච්චර ජනප්‍රිය වුණාද කියනව නම් NETFLIXලගෙ වැඩිම නැරැඹුම් සංඛ්‍යාවක් ලබපු කතා මාලාව බවට පත් වෙනවා. දවස් 28කින් මිලියන 62 නරඹලා. ඒ වගේමයි රටවල් 92 ක හොඳම 10 ඇතුළත් රටවල් 63ක trending එක වෙන්නත් පුළුවන් වෙලා තිබෙනවා.

මේ සීරිස් එක බලපු අය කොච්චර චෙස්වලට උනන්දු වෙලා තිබෙනවා ද කියනව නම් අවුරුදු නවයකට පස්සෙ ගූගල් එකේ “How to play chess” කියල හොයපු ගාණ වැඩි වෙලා තිබෙනවා වගේම chess.com වෙබ් අඩවියට පිවිසෙන ගාණත් වැඩි වෙලා තිබෙනවා. 

ඉතින් ප්‍රේක්ෂකයට නවතම චෙස් උන්මාදයක් ඇති කරපු මේ mini series එක නිර්මාණය වෙන්නෙ 1983දී ‘වොල්ටර් ටෙවිස්’ කියන ලේඛකයාගෙ නව කතාවක් ඇසුරින්.   කුඩා කල සිටන් නේවාසික රෝහලක හැදුණ ඔහු, එයාගෙ ජීවිතේ අත්දැකීම් මේ කතා මාලාවෙ එන ‘බෙත් හාමන්’ කියන චරිතය හරහා මුළු කතාව පුරාවටම අරගෙන ඇවිත් තිබෙනවා. 

Scott frank සහ Alan scottගෙ ද්විත්ව අධ්‍යක්ෂණයෙන් එළි බසින ‘Queen S gumbit’හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ ‘Taylor-Joy.’  මේ තුන්කට්ටුව මොකක් හරි මැජික් එකක්  කරලද කියල හිතෙන තරමට මේ සීරිස් එක ඇතුළේ කොටස් හතකින්  චෙස් කියන ක්‍රීඩාව  ඉතාමත් උද්වේගකර  තරගකාරී ක්‍රීඩාව බවට පත් කරල තිබෙනවා කිව්වොත් වැරදි නැහැ.

විශේෂම දේ තමයි Taylor- Joyගෙ රංගනය  කතා බහ අඩු චරිතයක් වන ඇයගේ  සැලෙන දෙතොල් තියුණු බැල්ම මඟින් ඇය මේ චරිතයට පණ පොවන්නෙ මුහුණේ සහ සිරුරෙ ඉරියව්වලින්.

එලිසබෙත් හාර්මන්…  එහෙමත් නැත්නම්  බෙත් හාර්මන් … 

1967 අවුරුද්දේ පැරීසියෙන් සිද්ධීන් පෙළගැහෙන්න පටන් අරන්,  අපිව නිර්මාණකරුවා විසින් සෑහෙන කාලයක් ආපස්සට අරන් යනවා.

පොඩි කාලෙ ඉඳන්ම තාත්තාගේ ආදරේ නොලැබුණ බෙත්ට මේ ලෝකෙ හිටිය එකම නෑයා තමයි එයාගෙ අම්මා.  ඒත්  ජීවිතේ වෙන සමහර දේවල් කොච්චර දුකයිද අසික්කිතයිද  කියනව නම් දෛවය විසින් එයාගෙ ජීවිතේ හිටිය එකම සරණත් උදුරගන්නවා.  නිව්සර්කල් වීදියෙ සිද්ධ වෙන  ඒ කරුම මූසල සිදුවීමෙන් අවුරුදු නවයක් වගෙ කුඩා වයසක ඉන්න බෙත්ගෙ සම්පුර්ණ ඉදිරි ජීවිතේටම ලොකු බලපෑමක් එල්ල කරනවා.  

ඊටපස්සේ එළිසබෙත්ට සිද්ධ වෙනවා ඇගේ අලුත්ම නවාතැන්පළට යන්න. ඇය වගේම ගැහැනු ළමයි ඉන්න අනාථ නිවාසාගාරයකට.   අලුත් අලුත්  මූණු ගොඩාක් අස්සෙ බෙත්ගෙ කනට නෑසිය යුතුමයි හිතෙන අසමජ්ජාති වචන ටිකක් ගියපු පළමුවැනි දවසෙම ඇහෙනවා.  ඒ   වචනවල අයිතිකාරයා වෙන්නෙ සුන්දර කාලවර්ණ පෙනුමක් තියෙන දැකුම්කලු කෙල්ලෙක්ට. එයාගෙ නම ‘ජොලින්’ අන්තිමේ   නේවාසිකාගාරෙ එයාගෙ ළඟ ඉන්න හොඳම යාළුවා වෙන්නෙත් මෙයාම තමයි. දෙන්න කොච්චර හොඳ යාළුවො වුණාද කියනව නම් ජොලින් බෙත්ට ආදරේට කිව්වේ “ක්‍රැකර්” කියලා.  

දවසක් බෙත්ට සිද්ධ වෙනව බේස්මන්ට් එකට ගිහින් එයාගෙ පන්තියෙ ඩස්ටර් එක සුද්ද කරන්න.  එතැනදි එයා දකිනවා නන්නා¾දුනන වයසක මනුස්සයෙක් මොකක්ද බෝඩ් එකක් තබාගෙන තනියම ඒක දිහා බලාගෙන ඉන්නවා.  ඇති වෙච්ච කුතුහලෙ එක්කම බෙත් එයා ළඟට  ගිහින් අහනව මොකක්ද මේ සෙල්ලම කියලා. ඊට පස්සෙ ඔහු උත්තර දෙනව මේකට කියන්නේ ‘චෙස්’ කියල. ඇය ඔහුගෙන් අහනව ඒ ක්‍රීඩාව ඇයට උගන්නන්න පුළුවන් ද  කියලා. නමුත් ඔහු ඉස්සරවෙලාම ඇයට ඒකට කැමැත්ත නම් දෙන්නෙ නෑ.  ඒත් එයා, ඔහු චෙස් ප්ලේ කරන එක දිහා ඇවිත් බලන් ඉන්න එක නවත්තන්නෙත් නෑ.

බෙත් මේ ගේම් එකට කොච්චර ඇබ්බැහි වෙනවද කියනව නම්  එයාට නේවාසිගාරෙන් දෙන කොල පාට විටමින් පෙත්ත ඇබ්බැහියක් කරගෙන මත් වෙලා තමන්ගෙ හිත අල්ලගත්ත චෙස් ක්‍රීඩාව එක්ක මනසින් මවාගෙන සෙල්ලම් කරනවා. ඒ වෙන කොහෙවත් නෙවේ ඇගෙ හිසට ඉහළින් තියෙන සිවිලිම දිහා බලාගෙන.  බෙත් පුරුද්දක් කර ගන්නව ඩස්ටර් එක සුද්ද කරන්න යන්න. හේතුව තමා එහෙ ඉන්න ශයිබල් මහත්මයා එක්ක චෙස් සෙල්ලම් කරන්න අවස්ථාවක් ඉල්ලගන්න.  කොහොම හරි දවසක් බෙත්ට පුළුවන් වෙනවා මිස්ට ශයිබල් එක්ක චෙස් ප්ලේ කරන්න. ඒ වගේම ඒ පොඩි වයසේදී ඔහුව පරාද කරන්නත්. එදා ඔහු බෙත්ට දෙනව චෙස් ආරම්භ කිරීම ගැන පොතක්.  ඉදා ඉඳල ඔහු කිසිම ගුරුමුෂ්ටියක් නැතිව ඔහු දන්න හැමදේම බෙත්ට කියල දෙනවා. 

කොහොම හරි ශයිබල් මහත්මයගෙ උදව්වෙන් ඇයට පුළුවන් වෙනව උසස් පාසල් කණ්්ඩායමේ පුහුණුකරුව මුන ගැහෙන්න සහ ඔහු එක්ක චෙස් ප්ලේ කරන්න. ඉතින් මේ පුංචි කෙල්ලට පුළුවන් වෙනව ඔහුවත් පරාද කරන්න.  මෙතැනදි ඔහු ඇයගෙන් ප්‍රශ්නයක් අහනවා. “ඔයා කොහෙද සෙල්ලම් කරන්නෙ කියලා.” හිතාගන්න පුළුවන් ද බෙත් ගෙ උත්තරේ. 

“මම මගෙ ඔළුවෙන් සෙල්ලම් කරන්නේ.   සිවිලිමත් සමඟ” 

 නිකම් කරකවල අතෑරිය වගෙ උත්තරයක් වුණත් ඔහුගෙන් ඇගෙ දක්ෂකමට එදා බෝනික්කෙක් තෑගි ලැබෙනවා.  කොහොමහරි කාලයත් එක්ක ඇල්ස්ටන් කියල පවුලක් ඇවිත් බෙත්ව නේවාසිකාගාරයෙන් හදාගන්න ඉල්ලගෙන යනවා.  අලුත් පවුලක් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තට මොකද බෙත්ගෙ හිතේ තියෙන චෙස් හීනෙ ලේසියෙන් මරල දාන්න බැරි වෙනවා.  ඇඳුම් ගන්න ගියත් වෙන දෙයක් ගන්න ගියත් එයාගෙ හිත නතර වෙන්නෙ චෙස් සෙට් ළඟ. 

බෙත් ගෙ ජීවිතේ ලැබුණ හොඳම දෙයක් විධියට මේකෙ මම දකින්නෙ ඇයව හදාගන්න ගත්ත අම්මා  නැත්නම් එයාගෙ කුඩම්මා.   අපි සාමාන්‍යයෙන් දකින කුඩම්මගෙ චරිතයෙන් ඔබ්බට ගිහින්  ආදරණීය සෙල්ලක්කාර ආතල් චරිතයක් බෙත්ගෙ කුඩම්මගෙන් අපිට දකින්න පුළුවන්. කොහොම හරි බෙත්ට එයාගෙ පළමුවැනි චෙස් තරගයට යන්න ඩොලර් පහක් ඕන වෙනවා. ඉතින් සල්ලි නැතිව ඉන්න ඇයට මතක් වෙන්නෙ එකම එක චරිතයක් විතරයි. ඒ තමයි ශයිබල්.  ඇය ඩොලර්  දහයක් ගෙවනව කියල පොරොන්දු පිට ඔහුගෙන් මුදල් ඉල්ලගෙන තරගයට යනවා. මේ තරගෙ අස්සෙ ඇයට බය හිතුණ මනුස්ස පරානෙකට හිටිය එකම කෙනා තමා බෝර්ගොව් කියන රුසියන් ජාතිකයා. 

කොහොම හරි අන්තිමේ බෙත්ව පරාද කරන එක හිතාගන්න බැරි වුණ එක තැනක ඔහු ඇයට කියනවා,

“මේක ඔයාගෙ සෙල්ලම…

අරගන්න…”

බෙනි, මයික්, මැටි, හැරි, townes ඇයට තරගවලින් හම්බවෙන මේ හැම චරිතයක්ම අපිට බෙත්ගෙ කතාව අස්සෙ මුණගැහෙනවා.  ඒ වගේම බෙත්ගෙ ජයග්‍රහණවලට මේ හයිය, හෙවණැලි ඇයට ලොකු උදව්වක් වුණා.  ඇත්තටම මේ පිරිමි  තමන් පරාජය කරන මේ කෙල්ලගෙ තියෙන සුවිශේෂි ටැලන්ට් එක අගය කරනවා. ඔවුන් තේරුම් ගන්නවා ඔවුන් පරාද වෙන්නේ එක්තරා සුවිශේෂි ටැලන්ට් එකක් ළඟ කියලා. ඉතින් ගැහැනු පිරිමි ලිංග භේදය නොසලකා හැරල තමන්ව ලේසියෙන්ම  පරාජය කරපු මේ කෙල්ලව ආදරෙන් බලාගන්න හොඳ supportive මිතුරන් පිරිසක් බවට ඔවුන් පත් වෙනවා. ඔවුන් ඇයව ආරක්ෂා කරනවා.  

තමන්ගේ ජීවිතේ කණපිට ගහපු ඒ චෙස්  බෝඩ් එකෙ අයිතිකාරයා මිස්ට ශයිබල් එයාට කියනව “මේක ගෑනු ළමයිගෙ සෙල්ලමක් නෙවෙ” කියල.  කොහොම හරි බෝඩ් එකක් උඩ තමන්ට ආස විධියට එහෙ මෙහෙ යන්න  දිනන්න  පාලනය කරන්න  අවස්ථාව ලැබුණම ඇය මේකට ඇබ්බැහි වෙනවා. ගේම් එකේදී එහෙම වුණාට ඇත්ත ජීවිතේ දී ඒව හීන විතරයි.  විශේෂයෙන්ම 1960 ගණන්වල ජීවත් වුණ කෙල්ලෙක්ට. 

මේ කතාවෙ එපිසෝඩ් හත පුරාම එක එක හැලහැප්පීම්, කඩාවැටීම් පිරුණ ජීවිතයක් උස්සගත්ත පොඩි ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්.  සම්මතයන් සහ පිරිමි ගොඩකගේ ඊගෝව පාගගෙන එයාගෙ අරමුණට යන්න ගන්න උත්සාහය බලාගන්න පුළුවන්. 

රටවල් ජාතින් අතික්‍රමණය කරන්න,  මිනිස්සු ළං කරන්න ක්‍රීඩාවකට පුළුවන් කියන එක අපිට සියුම්ව මේකෙ පෙන්නනවා.

බෙත්ට අවස්ථාවක් ලැබුණොත් එකම එකවතාවක් හරි මිස්ට ශයිබල් බලන්න යන්න එයා කොච්චර සතුටු වෙයිද..  ඒත් මේ කාරණාව එක තැනක අපිව සෑහෙන්න රිද්දනවා.

 ඉතින් බෙත් ගෙ චෙස් ඇදිල්ල නතර වෙන්නෙ  කොහෙන්ද කියල බලන්න කැමැති නම් මේ සීරිස් එක බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා. චෙස් ගැන නොදන්නවා වුණත් කිසිම කම්මැළිකමක් නැතිව බලන්න පුළුවන් සුපිරිම සීරිස් එකක් විධියට මේක recommend කරන්න පුළුවන්. ඒ  වගේම තමා  ඔයා චෙස්වලට  ආස කෙනෙක් නම්  චෙස් ගැන ඉගෙන ගන්න ඇබ්බැහි වෙන්නත් පුළුවන්.

ශෂිනි රත්නායක