මුව හමට තඩිබෑමේ කුමන්ත්‍රණ දේශපාලනය

0
60

ශ්‍රී  ලංකාව ලෝක සිතියමේ සටහන් වන්නේ කුමන ආකාරයෙන් ද, මොන වර්ණයෙන් ද කියන කාරණය අප මුහුණ දෙන අර්බුදයට විස¾දුම් සෙවීමේදී අදාළ වන බව මෙරට පාලකයෝ නොදනිති. ලංකාව ඉන්දීය සයුරේ මුතු ඇටය කියා සඳහන් කරනවා වගේම ලංකාව ඉන්දියානු සාගරයේ ලේ බින්දුව ලෙසත් සටහන් කරන්නට සිදුවන අවස්ථා මෑත ඉතිහාසයේදී අප පසුකර තිබේ.  ලෝකය එකම යායකි.

මාර්ෂල් මැක්ලුහාන්ගේ ගෝලීය ගම්මාන සංකල්පය පිළිගත්තත් නැතත් අපේ රටේ පාලකයන්ට ඔවුන් අභිමත පරිදි රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ඒකාධිපතියන් ලෙස ඩෙඟා නටන්නට ජාත්‍යන්තරය ඉඩදෙන්නේ නැත. අපේ රටද අස්සන් තබා ඇති ජත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් තුළ මෙරට පුරවැසියන්ටද ආරක්ෂාව සැලසී තිබේ. සැප්තැම්බර් 12 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරය ඇරඹුණු විට පාලකයන්ට තමන් මානව හිමිකම් උල්ලංඝනය කරමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ලෝකය හමුවේ උත්තර බැඳීමට සිදුවනු ඇත.

අපි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්. අපට ස්වාධිපත්‍ය තියෙනවා. අපේ වැඩවලට ඇඟිලි ගහන්න තොපි කවුද? කියන අධි මානසිකත්වයෙන් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නට ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ කිසිදු රාජ්‍යයකට මේ යුගයේ ඉඩක් නැත. 1971, 1983, 1988, 1989, 2009 ශ්‍රී ලංකාවට පෙර වැරදි තිබෙන නිසා වඩාත් පරිස්සම් සහගත විය යුතුය. රටේ මිනිස්සු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කර සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදුණේ බලයට පත්කළ ආණ්ඩුව ජනතාවට සතුරු වෙමින් දිගින් දිගටම ජනතාව පීඩාවට පත්කරන්නට වූ නිසාය. ජනාධිපති, අගමැති පමණක් නොව කැබිනට් මණ්ඩල කිහිපයක්ද ගෙදර යවන ලද්දේ වීදි බට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය විසිනි.

ආණ්ඩුව ජනතාවට එරෙහිව ක්‍රියා කරනවා නම් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරන්නට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට අනුලංඝනීය අයිතියක් ලබාදී තිබේ. තරුණයන් වීදි බැස උද්ඝෝෂණය කරන්නේ එම අයිතියේ සීමාවන් මතය.

පොලිසිය අධිකරණ නියෝග ඉල්ලන්නේ, ක¾දුළු ගෑස් ගහන්නේ, බැටන් ප්‍රහාර එල්ල කරන්නේ, උද්ඝෝෂකයන් නිසා මහජනතාව හිරිහැරයට පත්වන බව ප්‍රකාශ කරමිනි. නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි සිරස මාවත වැඩසටහනට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ සෙසු මහජනතාවට අවහිර ඇති කරමින් කොළඹ නගරයේ මාර්ග බාධක යොදන්නේ පොලිසිය බවය. හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ විස සහිත ක¾දුළු ගෑස්වලින් නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහර දෙන්නට පොලිසියට නෛතික බලයක් නැති බවය.

පොදුජන අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කරන තරුණ පිරිස්වලට හිරිහැර කරන්නටත් ඔවුන් අධිකරණය කරා ඇදගෙන යන්නටත් පොලිසිය භාවිත කරන්නේ නීතියෙන් හිමිව නැති බලයක් බව නීතිවේදීහු පවසති. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පොලිසිය ක්‍රියා කළ අන්දම මුළු ලෝකයම දුටුවේය. ලංකාණ්ඩුව මේවාට උත්තර බැඳිය යුත්තේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදීය. රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර ලවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ වරද පිළිගෙන රණවිරුවන් පාවා දුන්නා යැයි මෙයට පෙර අවස්ථාවක චෝදනා කළා සේ චෝදනා කරන්නට දැන් මේ ආණ්ඩුවට නොහැකිය.

පොදු ජනතාව විසින් බලයට පත්කරන මේ රටේ ආණ්ඩු හැමදාමත් ක්‍රියා කළේ ජනතාවට විරුද්ධවය. සෑම ආණ්ඩුවක්ම ජනතාවගෙන් එල්ලවන විරෝධය මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී පිළිවෙත් අනුගමනය කළ බවට මෙරට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇති බව ප්‍රකාශ කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශේෂ රැඳවුම් නියෝග ලබාගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේ නමක්ද ඇතුළුව තිදෙනකු රඳවා ගනිමින් ආණ්ඩුව දියත් කර තිබෙන්නේ ද කුමන්ත්‍රණයකි. මෙවැනි කුමන්ත්‍රණ කතා හැමදාමත් අවසන් වූයේ නැටූ තොවිලෙකුත් බෙරේ පළුවකුත් නැතිවය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1983 කළු ජූලිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කළේ කිසිදු සහේතුක පදනමක් නැති වය. එම පක්ෂ කළු ජූලියට සම්බන්ධ වූ බවට හෙළි කළ කිසිදු විමර්ශන වාර්තාවක් එදා පැවැති එජාප ආණ්ඩුව ඉදිරිපත් කළේද නැත. ප්‍රජාතන්ත්‍රවාදී මාවතක දේශපාලනය කරමින් සිටි ජවිපෙ කළු ජූලිය දඩමීමා කර ගනිමින් අනීතිකව තහනම් කිරීම හේතුවෙන් එදා ලක්ෂයකට අධික තරුණ පරම්පරාවක ජීවිත වැනසී ගියේය. දේශපාලන පක්ෂ තුනක් තහනම් කිරීම සම්බන්ධව 1983 අගෝස්තු මස 4 වැනිදා කොමියුනිස්ට් පක්ෂයේ රත්නපුර මන්ත්‍රි සරත් මුත්තෙට්ටුවේගම පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළේය.

ගරු කථානායකතුමනි,

“මෙතන සිදුවී ඇත්තේ ආණ්ඩුවේ පව් පටවන්නට තැනක් නැතිව, ආණ්ඩුවේ ප්‍රශ්න එල්ලන්නට වැලක් නැතිව, දැන් කුමන්ත්‍රණ කතාවක් දිග හරින්නට පටන්ගෙන තිබීමයි.  අගමැතිතුමා අද මෙහිදී කීවා රටට ඉහළින් කළු වලාවක් ඇති බව. මේ වලාව හමා ආවේ කවර දෙසින් දැයි ඔහුගෙන් අහන්න එපා කියාත් ඔහු කීවා. එය වලාවක් නොව කුණාටුවක් බව කියන අතරම ලොකු හා බලසම්පන්න විදේශ රාජ්‍යයක් ගැන ඔහු කතා කළා. මේ වහෙන් ඔරෝ චෝදනා කරන්නේ කාට විරුද්ධව දැයි කවුරුත් දන්නවා. සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවලුත් ලංකාවේ වාමාංශික පක්ෂත් කළු ජූලියට අෑඳන්නට ඔහු හදනවා.

මේ ජාතිවාදී කෝලාහලයට වමේ පක්ෂවල සම්බන්ධයක් ඇතැයි කියමින් රාජ්‍ය ඇමැති (ආනන්ද තිස්ස ද අල්විස්) රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් කතාවක් කළා. ඔහු ඒ කතාව කරන්නට ඇත්තේ එජාප ආණ්ඩුවේ තීරණය අනුව විය හැකියි. කොහොම වුණත් කුමන්ත්‍රණ කතාව පටන් ගත්තේ ඔහු. ඔහුගේ ප්‍රකාශය පත්තරවල වාර්තා වුණා. ආණ්ඩුවේ ඩේලිනිවුස් පත්තරේ මෙහෙම සඳහන් වෙනවා.

“ජාතිවාදී කෝලාහලවල පිටුපසින් සංවිධානය වූ බලවේගයක්”

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ සිද්ධිය ගැන ජූලි 28 කළ කතාව ගැන මේ සභාවේ අවධානය යොමු කරවනවා. ඒ කතාවේ වාමාංශික පක්ෂ ගැන වචනයක්වත් සදහනක් නෑ. කිසිම විදේශ රාජ්‍යයක් ගැනත් සඳහනක් නෑ. එහෙත් රාජ්‍ය ඇමැතිතුමා කීවේ විදේශ මැදිහත්වීම් එක්ක නිශ්චිත සැලසුමක් තිබුණු බව අනාවරණය වී ඇත කියායි.

පහරදුන් රටාවේ සමානකමක් තිබුණාලු. දාමරිකයන් කඩා පැන බඩු කොල්ල කන්නේ නැතිව විනාශ කර දැමීම හිතාමතා ගන්නා ලද තීරණයත් අනෙක් සාධකත් අනුව බලන විට මේ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස යම් කිසි ආකාරයක සංවිධානාත්මක බලවේගයක් තිබුණු බව බලධාරීන් විසින් පෙන්වා දුන්නාලු.

ඔන්න සාක්ෂි, ඔය ටික තමයි ඇමැතිවරයා රටට කීවේ. ඒ උඩ තමයි කෝලාහල පිටිපස ලොකු සංවිධානයක් තිබුණායි කියා නිගමනය කර ඇත්තේ. ඇමැතිතුමාගෙන් අහන්න ඕනෑ මේ රටේ ජාතිවාදී කෝලාහල සිදුවූ හැම අවස්ථාවකම දකින්නට ලැබුණේ මේ රටාව නොවේද.

1915 සිංහල මරක්කල කෝලාහලය ගැන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ලියා ඇති පොතකින් වැකියක් උපුටා දක්වන්න මම කැමතියි. එහි 10 වැනි පිටුවේ ඔහු මෙසේ කියා තිබෙනවා.

“වැඩියෙන් කුපිත වූ සමහරු මුස්ලිම්වරුන්ගේ සාප්පුවලට පැන ඒවායේ බඩු එළියට දැමූවිට මිනිස්සු ඒවා පාර මැද තබා ගිනි තැබූහ.”

පසුගිය දිනවල ඇති වූ කෝලාහලවල රටාවක් තිබුණු බවට ප්‍රධාන හේතුවක්සේ ඇමැතිතුමා දක්වන්නේ මේ රටාවයි. 1915 සිට අද දක්වාම පවතින්නේ එකම රටාවක් නම් එය පදනම් කරගෙන මේ සිද්ධිවල පිටුපස සංවිධානාත්මක වැඩපිළිවෙළක් තිබුණා යැයි නිගමනය කළේ කොහොමද?”

කළු ජූලියේ මිනිසුන් මරා දැමීම ගැන හෝ නිවාස ගිනි තැබීම ගැන කිසියම් කුමන්ත්‍රණයක්වීද යන්න පිළිබඳව සනාථ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් මුත්තෙට්ටුවේගම ඉදිරිපත් කළ එම කාරණයෙන් පමණක් නොවේ.

කළු ජූලියේ සිදුවීම් ආරම්භ වූයේ 1983 ජූලි 24 වැනිදාය. යාපනයේදී කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 13 දෙනකු ඝාතනය කිරීම ඊට පදනම් වූ බව ඒ සම්බන්ධයෙන් වූ පොදු පිළිගැනීම විය. එහෙත් ඊට සතියකට පෙර 1983 ජූලි 17 ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ “රිවිරැස” පත්‍රයේ කැපී පෙනෙන ලොකු අකුරින් සිරස් තල යොදා ත්‍රස්තවාදය ම¾ඩින්න තවත් ත්‍රස්තවාදයක් යනුවෙන් වාර්තාවක් පළ විය.

වාර්තාවේ සඳහන්ව තිබුණේ “උතුර නැඟෙනහිර දෙපළාතෙන් ත්‍රස්තවාදී කටයුතු මැඬපැවැත්වීමට රජය මෙම 22 වැනිදාට පසු දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවය”

රජයට සම්බන්ධ දේශපාලනඥයෙක් පැවැසූ බව දක්වමින් වාර්තාව ඉදිරිපත් කර තිබුණේ රිවිරැස මාණ්ඩලික ලේඛකයකු වූ මයිකල් එම්. පෙරේරා විසිනි. ජූලි 23, 24 දිනවල ගන්නා ලද්දේ රජයේ එම දැඩි ක්‍රියා මාර්ගයද යන්න එම වාර්තාවෙන් පැන නඟින  ප්‍රශ්නයකි.  ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදිනෙක කතා කළේ නැත.

මේ ගැන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ සෑම විටම ආණ්ඩුව ප්‍රශ්නය මඟහැරියේය. දෙමළ ජාතිය සතු ව්‍යාපාර ගිනිබත් කරමින් දෙමළ ජනයා මරා දමමින් වාමාංශික පක්ෂ තහනම් කරමින් 1983 ඇති කළ කළු ජූලිය පිටුපස සිටි සැබෑ වගඋත්තරකරුවෝ කවුරුන්ද යන්න අදටත් රහසකි.

2022 මැයි 9 වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සහ ගෝල්ෆේස් පිටියේ සිදුවූ සිදුවීම් පිළිබඳව කතා නොකරන ආණ්ඩුව එතැන් සිට මේ දක්වා සිදු වූ සිදුවීම් පිළිබඳව නොනවත්වා කතා කරමින් සිටී.

ආණ්ඩුව ස්වකීය වගකීම් පැහැර හැරි විට, ආණ්ඩුව වැඩ වරද්දා ගත්විට, ප්‍රශ්නය කාගේ හෝ කරේ එල්ලීම ලංකාවේ ආණ්ඩුවල සිරිතය. ඒ සඳහා සෑම ආණ්ඩුවක්ම තළන්නට මුව හමක් සොයා ගනී. මෙවර සොයාගෙන තිබෙන මුව හම අරගලය සහ එහි පෙරමුණ ගත් තරුණ පිරිසය.

උදේනි සමන් කුමාර